ඉන්දීය ණයෙන් ගෙනා පොහොර මහඔය කඩේක විකුණලා

0
81

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යතේ මෙරටට ගෙන්වා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට සහන මිලට ලබා දුන් යූරියා පොහොර මහඔය ප්‍රදේශයේ වෙළෙඳසලක අලෙවි කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තාවී තිබේ.

මෙසේ වෙළෙඳසලක එම පොහොර අලෙවි කරන ලද්දේ මහඔය ගොවිජන සේවා මධ්‍යස්ථානයට ලැබුණු පොහොරවලින් කොටසක් බවත්, එම ජාවාරමට මහවැලි ගොවි සංවිධානයක් හවුල්වී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් කළ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනම පරීක්‍ෂණයක් කරන ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගෙන් මේ පිළිබඳව ‘මව්බිම’ කළ විමසීමකදී සඳහන් කළේය.

යම් හෙයකින් අමාත්‍යාංශයේ හෝ අනුබද්ධ ආයතනයක නිලධාරියෙක් මෙකී ජාවාරමට හවුල්වී ඇත්නම් ඔවුන්ගේ තරාතිරම නොබලා ගත හැකි ඉහළම විනය ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා කීවේය.

විනීතා එම්. ගමගේ