ආරක්ෂක අංශ ආබාධිතයන්ට පහර දුන් බව කීම පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමක්

0
22

ගාලුමුව‍ෙදාර සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පසුගිය 22 වැනි දින කටයුතු කළ අවස්ථාවේ ආබාධ සහිත තැනැත්තන්ට අමානුෂික ලෙසපහරදීමක් සිදුව තිබෙන බවට ගෙන යන ප්‍රචාර පටු දේශපාලනික අරමුණු මුදුන්පමුණුවා ගැනීම සඳහා කරන්නක් බව අයිතීන් උදෙසා අපි සංවිධානයේ සභාපති නිශා ෆරීෆ් මෙනෙවිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. එය දේශපාලනික අරමුණක් වෙනුවෙන් ගොතන ලද්දක් බවද ඇය ප්‍රකාශ කරයි.

අදාළ ස්ථානයේදී පසුගිය 22 වැනි දින ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රහාරයක් සිදුව ඇති බවට කිසිදු පිළිගත හැකි සාක්කියක් නොමැති බවද ඇය පවසයි.

අදාළ නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.  පසුගිය 22 දින ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන් ඉවත් කිරීමට පියවර ගත්  අවස්ථාවේදී ආබාධ සහිත තැනැත්තන් 12 දෙනකුට අමානුෂික ලෙස පහරදී ඇති බවට මාධ්‍ය මඟින් ප්‍රචාරය කරන ලද ප්‍රවෘත්තිය සාවද්‍ය එකකි. එම විරෝධතාකරුවන් අතර ශ්‍රවණාබාධ සහිත තැනැත්තන්ද සිටි නමුත් එවැනි අමානුෂික පහරදීමක් සිදුව නොමැති බව මේ පිළිබඳව අප විසින් කරන ලද නිරීක්ෂණ මඟින් තහවුරු විය.

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ආබාධ සහිත තැනැත්තන් යොදා ගනිමින් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මුවාවෙන් ඇතැමුන් සිදුකරන අවස්ථාවාදී ක්‍රියා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. ආබාධ සහිත තැනැත්තන්ට දේශපාලන මතවාදයක් දැරීමට අයිතිය අන් අය හා සමානව පවතී. ආබාධ සහිත තැනැත්තන්ගේ නොදැනුවත්භාවය  තමන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදා ගැනීමත් ආබාධ සහිත තැනැත්තන් සම්බන්ධව පවතින සමාජ සංවේදිතාව අවභාවිත කිරීමත්  සමස්ත සමාජය කිසිසේත් අනුමත නොකරන්නේය. මෙවැනි සාවද්‍ය ප්‍රචාර මඟින් සමස්ත ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව සමාජය තුළ පවතින සංවේදිතාව කෙරෙහි අයහපත් බලපෑමක් එල්ලවනු ඇත.

කිසිදු අවස්ථාවක සිය පටු අරමුණු වෙනුවෙන් ආබාධ සහිත තැනැත්තන් යොදා නොගන්නා ලෙස අයිතීන් උදෙසා අපි සංවිධානය ඇතුළු සියලු ප්‍රාදේශීය, දිස්ත්‍රික්, පළාත් සහ ජාතික මට්ටමේ ආබාධ සහිත පුද්ගලයන්ගේ සංවිධාන වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේමු.

අදාළ දිනයේදී ආබාධ සහිත පුද්ගලයන්ට ආරක්ෂක අංශ වෙතින්  ප්‍රහාරයක් එල්ල වූයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිදුකර එහි සත්‍ය අසත්‍යතාව නිවැරැදි ලෙස තහවුරු කර ගන්නා ලෙස මානව හිමිකම් කොමිසමෙන් හා පොලිසියෙන් ඉල්ලා සිටිමු.

මහනුවර – කේ.එල්. සුරවීර