අනුරපුර මහ නගර සභා සේවකයෝ මන්ත්‍රිනියකට කුණු බිත්තර ගසා ගෙදර එළවලා

0
56

අනුරාධපුර මහ නගර සභාවේ පෙරේදා (26දා) පැවැති මුදල් කාරක සභා රැස්වීමේදී ඇතිවූ බහින් බස්වීමකින් පසු ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරියක වන සුරංගි ආර්. සමරතුංග විසින් නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාට සෙරෙප්පුවකින් දමා ගැසීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ (27දා) පෙරවරුවේ එහි සමස්ත සේවකයන් වැඩ වර්ජනයක නිරතව සිටි අතරතුර නගර සභා පරිශ්‍රයට පැමිණි එම මන්ත්‍රිවරියට සේවකයන් වටකර කුණු බිත්තර සහ පල්වූ ආහාර මිශ්‍ර ජල ප්‍රහාරයක් එල්ල කොට ඇය නගර සභා පරිශ්‍රයෙන් පලවා හරිනු ලැබිණි.

පෙරේදා (26දා) පෙරවරුවේ නගරාධිපති එච්.පී. සෝමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම නගර සභාවේ මාසික මුදල් කාරක සභා රැස්වීම පවත්වා ඇති අතර එහිදී පසුගිය පොසොන් උත්සව සමයේ මහ නගර සභාව මඟින් සංවිධානය කරන ලද පුරවර උදානය සැණකෙළියෙන් ලද ප්‍රවේශපත්‍ර ආදායම් සම්බන්ධයෙන් මන්ත්‍රිවරිය විසින් නාගරික කොමසාරිස්වරයාගෙන් මතු කළ ප්‍රශ්නයක් අතරතුර බහින්බස්වීමක් හටගෙන තිබිණි.

අනතුරුව එම රැස්වීම අවසන්වීමෙන් පසු නගරාධිපතිවරයා සභා ශාලාවේ මූලාසනයට ආසන්නවම පිහිටි ‍ෙදාරටුවෙන් සිය නිල කාර්යාලය වෙත ගොස් ඇති අතර නාගරික කොමසාරිස්වරයා ඇතුළු මන්ත්‍රිවරුන් ආලින්දයට පිවිසෙන ‍ෙදාරටුවෙන් පිටවීමට උත්සාහ කළ අවස්ථාවේ එම ‍ෙදාරටුව අවහිර කොට සිට ඇති මන්ත්‍රිවරිය ඇය පැලඳ සිටි සෙරෙප්පුවක් ගලවා නාගරික කොමසාරිස්වරයාට දමා ගසා ඇත.

අනතුරුව ඉන් මිදී සිය නිල කාමරය වෙත නාගරික කොමසාරිස්වරයා වේගයෙන් ගමන් කරමින් සිටියදී ඔහු පසුපස හඹා ආ ඇය පැලඳ සිටි අනෙක් සෙරෙප්පුවෙන්ද ඔහුට දමා ගසා තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයා එම අවස්ථාවේම අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලක්මාල් විජේරත්න මහතා වෙත දුරකථනයෙන් දැනුම් දීමෙන් පසු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාගේ දැනුම්දීම අනුව ඊයේ (27දා) පෙරවරුවේ ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබිණි.

කෝපයට පත් නගර සභා සේවකයෝ සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ (27දා) පෙරවරුවේ නගර සභා පරිශ්‍ර භුමියේ කළු කොඩි ඔසවා, සෙරෙප්පු ප්‍රහාරය එල්ල කළ බව කියන සුරංගි ආර්. සමරතුංග මන්ත්‍රිවරිය නගර සභා පරිශ්‍රයට පැමිණ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නාගරික කොමසාරිස් රුවන් විජේසිංහගෙන් සමාව ගන්නා තුරු වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබූහ.

මේ අතරතුර අදාළ මන්ත්‍රිවරිය වැඩ වර්ජකයන්ගේ හූ හඬ හා ඝෝෂාව මධ්‍යයේ සිනාමුසු මුහුණින් යුතුව නගර සභා පරිශ්‍රයේ පිහිටි මන්ත්‍රිවරුන්ගේ නිල කාමරය වෙත ඇතුළුවීමත් සමඟ එම කාමරය වැටලූ නගර සභා සේවකයන් මන්ත්‍රිවරියට කුණු බිත්තර සහ පල් කළ ආහාර මිශ්‍ර ජල ප්‍රහාරයක් එල්ල කොට නාගරික කොමසාරිස්වරයාගෙන් සමාව ගෙන නගර සභා පරිශ්‍රයෙන් වහා පිටව යන ලෙසට දැඩි විරෝධයපාමින් දැනුම් දුන්හ.

අනතුරුව මන්ත්‍රිවරිය පසුපස ‍ෙදාරෙන් නගර සභා පරිශ්‍රයෙන් පිටතට ගිය අවස්ථාවේ සේවකයන් පිරිසක් කසළ ප්‍රවාහනය කරන කරත්තයක නංවාගෙන නගර සභා පරිශ්‍රය ඉදිරිපිටට කැඳවා ගෙනවිත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සියලු සේවකයන් ඉදිරියේ නාගරික කොමසාරිස්වරයාගෙන් සමාව ගන්නා ලෙසට මන්ත්‍රිවරියගෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව දෙනෙත් පිරි කඳුළින් යුතුව මන්ත්‍රිවරිය නාගරික කොමසාරිස්වරයාගෙන් සමාව අයැද සිටියාය.

අනතුරුව අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් කිහිපදෙනෙක් එහි පැමිණ මන්ත්‍රිවරිය සේවකයන්ගෙන් මුදා ගෙන පොලිස් ස්ථානය සතු වාහනයකින් ඇගේ නිවෙස වෙත කැඳවාගෙන යනු ලැබිණි.

මන්ත්‍රිවරිය නගර සභා පරිශ්‍ර භූමියෙන් නික්ම ගිය පසු සේවකයෝ වැඩ වර්ජනය අවසන් කළහ.

අනුරාධපුර – පර්සි කුරුනේරු