අධිකරණය මඟ හැර සිට භාර වූ නිලධාරීන් හය දෙනා රිමාන්ඩ් භාරයට

0
16

ගම්පහ, බැලුම්මහර, මුදුන්ගොඩ සණස සමිතියේ සිදුව ඇති රුපියල් තිස්තුන්කෝටි විසිහතර ලක්ෂයක මුදල් වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග ලබා සිටි එම බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනෙක් නිලධාරීන්  සහ නිලධාරිනියන් හය දෙනා 26 වැනිදා (පෙරේදා) මෙම නඩුව ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදී නීතිඥයන් සමඟ පැමිණ අධිකරණයට භාරවූ අතර සැකකරුවන් අගෝස්තු 9 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අංක දෙක මහෙස්ත්‍රාත් මහේන්ද්‍ර රාජා මහතා නියෝග කළේය. ගම්පහ පොලිසියේ විශේෂ අපරාධ  විමර්ශන අංශයේ ඉල්ලීම මත බස්නාහිර පළාතේ සමුපකාර කොමසාරිස්වරියට මීළඟ නඩු වාරය වූ අගෝස්තු මස නව වැනිදා  අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළේය.

 26 වැනිදා නීතිඥ සහාය මත අධිකරණයට  ඉදිරිපත් වූ පිරිස අතර මුදුන්ගොඩ සණස මූල්‍ය  සමිතියේ හිටපු සභාපතිගේ සොයුරා ඇතුළු 6 දෙනෙක් වෙති. ගම්පහ පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන  ඒකකය වෙත ලද පැමිණිල්ලකට අනුව  පසුගිය 2021 නොවැම්බර් මස 9 වැනිදා අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම බැංකුවේ හිටපු  අධ්‍යක්‍ෂ මණ්ඩලයේ  නිලධාරීන් හත්දෙනාද ඇතුළුව මේ වනවිට මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් දහතුන් දෙනකු රක්ෂිත බන්ධනාගාර ගතව සිටිති.

ගම්පහ පොලිසියේ  විශේෂ අපරාධ  විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් ගුණසේකර මහතා විසින් අධිකරණය මඟහැර සිටි සැකකරුවන් හයදෙනා මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරමින් ඔවුන්ගේ ඥතීන් පොලිසියට කැඳවා සැකකරුවන්ට ආරක්ෂාව සහ රැකවරණය සැලසීම යන චෝදනාව යටතේ ඔවුන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නඩු පවරන බවට දැනුවත් කිරීමෙන් පසුව මෙම සැකකරුවන්  හයදෙනා නීතිඥයන් සමඟ පැමිණ මෙදින අධිකරණයට  භාරවී ඇතැයි  පැවසීය.

රුපියල්   තුන්කෝටි විසිහතර ලක්ෂයක මුදල් සහ ගිවිසුම් ගත පොලිය ගෙවීම පැහැර හැරීමට එරෙහිව ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලිකරුවන් දාහතර දෙනකු විසින් යොමුකරන ලද  පැමිණිල්ලකට අනුව මෙම නඩුව පොදු දේපළ පනත යටතේ ගම්පහ මහෙස්ත්‍රාත්  අධිකරණයට ගොනුකර ඇත.

කැලණිය – කුසුම් එස්. හැන්නදි