ෆේස්බුක්වල වෛරී සහගත දැන්වීමක් පළ කළ සැකකරු අල්ලන්න පරීක්ෂණ

0
12

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද්වේෂ සහගත සහ වෛරී සහගත ලෙස දැන්වීමක් සකස්කර පළ කළ ප්‍රධාන සැකකරුවකු සහ ඊට සහාය පළ කළ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල්

පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමාජ මාධ්‍ය ජාලයේ පළවී තිබූ මෙම දැන්වීමට අදාළව මහජනතාව අතර නොසන්සුන්තාවක් ඇතිකර මහජන සාමයට බාධා ඇති කිරීමේ අරමුණින් ඊට සහාය පළ කළ පුද්ගලයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් පරිගණක අපරාධ විමර්ශන උප ඒකකය විසින් ඉකුත් 24 වැනිදා දහවල් ගාල්ල කොටුවේදී අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් ඔහු ගාල්ල කොටුව පදිංචි 28 හැවිරිදි අයෙකි.

“ඊළඟ 9 වැනිදා රට පුරා කැරැල්ලක් මෙහෙයවනවා. පොලිස්, ආමි පවුල්පිටින් තැන්තැන්වල, පාරවල්වල, බල්ලෝ වගේ ඉවර කරලා දාන තැනට යාපනේ උන්ට මං දන්න දෙමළෙන් ටෝක් කරලා. කෝච්චි 02ක් පිරෙන්න මිනිස්සු ගෙන්නුවා. තනි මම එහෙම කළා නම් රටේම මිනිස්සු එකතු වුණා නම් මොනවා කරන්න බැරිද” ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පළ කර තිබූ මෙම දැන්වීමට මෙම සැකකරු ඇතුළු පිරිසක් ද්වේෂ සහගත සහ වෛරී සහගත ලෙස ප්‍රතිචාර දක්වමින් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම් හරහා අදහස් දක්වා ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු ඉකුත් 25 වැනිදා ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන  මස 8 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම දැන්වීම මුලින් පළ කළ ප්‍රධාන පුද්ගලයා සහ ඊට සහාය දෙමින් අදහස් පළ කළ අනෙකුත් සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය කියයි.

කීර්ති මෙන්ඩිස්