හෝටල් හිමිකරු හා ගෝලයා පෝලිමේ තිබූ හිස් ගෑස් සිලින්ඩර උස්සලා

0
17

යකඩ දම්වැල් යොදා කළුතර උතුර ගෑස් අලෙවි මධ්‍යස්ථානයක් ඉදිරිපිට පෝලිමේ තිබූ හිස් සිලින්ඩර 4ක් සොරකම් කර ඒ ආසන්නයේ පිහිටි අවන්හලක හිමිකරු සහ සේවකයකු ඊයේ (25දා) අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.

අලෙවි මධ්‍යස්ථානයේ සහ ඒ අවට ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ අවන්හලක 57 සහ 46 වියැති හිමිකරු සහ  අවන්හල් සේවකයකු බව පොලිසිය කීය.

කළුතර උතුර ප්‍රදේශයේ ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථානයක් ඉදිරිපිට හිස් සිලින්ඩර විශාල ප්‍රමාණයක් යකඩ දම්වැල් දමා දින ගණනාවක් තිබී ඇත. ඉන් සිලින්ඩර 4ක් ඉකුත් 16දා අලුයම සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය.

පසුව ප්‍රදේශයේ ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදී ගෑස් අලෙවි මධ්‍යස්ථානයට මීටර් 100ක් පමණ දුරින් ඇති අවන්හලක දෙදෙනකු අලුයම 4.15ට පමණ පැමිණ සිලින්ඩර 4ක් දම්වැල්වලින් ගලවා රැගෙන යන අයුරු පටිගතව තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිසිය අවන්හල තුළ සඟවා තිබූ හිස් සිලින්ඩර 4ක් සොයාගෙන ඇත.

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කළුතර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ සහ සැරයන් මනෝජ් (5778) වැටලීම කළහ.

පොතුපිටිය – සුමිත් රණවක