සෙවණගල පිරවුම්හල අවට කලහකාරීන් පාලනයට පොලිසියෙන් අහසට වෙඩි

0
13

ඉකුත්දා (25දා) රාත්‍රි 2ට පමණ සෙවණගල ඉන්ධන පිරවුම්හලෙහි ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් එය මැඬපැවැත්වීමට සෙවණගල පොලිසිය අහසට වෙඩි තබා ඇත.

ඉන්ධන ලබා ගැනීමේ අංක ක්‍රමයට අනුව නියමිත 6, 7, 8, 9 අංකවලට අනුව පෝලිමේ සිටි පිරිසට අමතරව වෙනත් පිරිසක් පැමිණ ඉන්ධන ලබා ගැනීමට යෑමේදී මෙම කලහකාරී තත්ත්වය ඇති වී ඇත. මේ පිළිබඳව පෝලිමේ සිටි පිරිස් කියා සිටියේ අපි පෝලිමේ සිටියදී පොලිසියට සම්බන්ධ පිරිසක් පැමිණ ඉන්ධන ලබා ගැනීමට යෑමේදී මෙම තත්ත්වය ඇති වූ බවය. මෙයට වගකිව යුත්තේ පොලිසියයි යනුවෙන්ද ඔවුහු කීහ.

මේ පිළිබඳව සෙවණගල පොලිස් ස්ථානාධිපති කේ.සී.වී. දීපාල් මහතාගෙන් විමසූ විට කියා සිටියේ ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිසක් පෝලිමේ සිටියදී වෙනත් පිරිසක් පැමිණ ඉන්ධන බවුසරයට ඉන්ධන බෑමට නොදී ඉන්ධන ලබාගැනීමේ අරමුණින් කලහකාරීව හැසිරුණු බවය. සමථයකට පත් කිරීමට පොලිසිය ක්‍රියා කිරීමට යෑමේදී එම පිරිස පොලිසියටද පහර දීමට සැරසීම හේතුවෙන් එය සමථයකට පත් කිරීමට පොලිසියට අහසට වෙඩි තැබීමට සිදුවූ බවය.

සිද්ධිය පිළිබඳ ඉන්ධන පිරවුම්හලේ හිමිකරු කියා සිටියේ සෙවණගල ප්‍රදේශයේ ජීවත්වන්නේ කෘෂිකර්මාන්තයෙන් යැපෙන පිරිසක් බවය. අපේ පිරවුම්හලට මේ දක්වා දැන් මාසයක් පටන් ඩීසල් ලැබුණේම නැහැ. ඒ හේතුවෙන් ගොවීහු දැඩි අපහසුතාවට පත්වෙලා ඉන්නේ. අපි ඛනිජතෙල් සංස්ථාවෙන් තෙල් ඉල්ලා මුදල් බැඳලා තිබෙන්නේ.

සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකරු සම්බන්ධ කරගෙන ඊයේ දිනයේ සිට QR ක්‍රමයට තෙල් ලබා දීමට අවශ්‍ය සියලු වැඩකර තිබියදී එය කඩාකප්පල් කිරීමේ අදහසින් මැර පිරිසක් පැමිණ මේ තත්ත්වය ඇති කළා. මෙය පොලිසියට පමණක් පාලනය කළ නොහැකියි. අපේ පිරවුම්හලටත් පොලිස් විශේෂ කාර්ය බළකාය හෝ හමුදාව යොදවන්න. එසේ නොවුණහොත් මැර පිරිස් පෝලිමේ සිටින අයට තෙල් ලබා ගැනීමට නොදී රණ්ඩු ඇති කරාවි. අපට ලැබෙන්නේ තෙල් ලීටර් 6000ක බවුසරයක් එය තෙල් ලබා ගැනීමට සිටින පිරිස් අතර බෙදීමට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අප හට තෙල් ලීටර් 13,000ක බවුසරයක් ලබාදීමට පියවර ගත හොත් තත්ත්වය තරමක් දුරට හෝ සංසිඳුවා ගත හැකියි.    

සෙවණගල – එස්. කුට්ටපිටිය