සෙලින්කෝ ලයිෆ් ‘සිහින සිතුවම්’ තරගයට ලාංකේය දරුවන්ගේ සිහිනවලින් වර්ණවත් වූ නිර්මාණ 70,000ක්

0
42

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ‘සිහින සිතුවම්’ ළමා චිත්‍ර තරගය සහ රචනා තරගය සඳහා ඉහළ ප්‍රතිචාරයක් හිමිවෙමින් නිර්මාණ 70,000ක් ලැබී තිබෙන බව සමාගම නිවේදනය කර ඇත.

මෙම සෑම චිත්‍රයක් සහ රචනාවක්ම ‘මගේ අනාගත බලාපොරොත්තුව’ (Your dream when you grow up) යන තේමාවෙන් ‘සිහින සිතුවම්’ වෙබ් අඩවිය ඔස්සේ එවීමට හෝ සෙලින්කෝ ලයිෆ් ශාඛාවකට පැමිණ භාරදීමට අවස්ථාව ලබාදී තිබිණි. සමාගම සඳහන් කරන්නේ කොවිඩ් – 19 වසංගතය සහ පසුව පැමිණි ආර්ථික අර්බුදය හමුවේ මෙම දරුවන් වැඩි වශයෙන් නිවෙසටම වී සිටියද ඔවුන්ගේ නිර්මාණ සඳහා ඔවුන්ගේ මනරම් සිතුවිලි සහ බලාපොරොත්තු ආලෝකයක් වී තිබෙන බවයි.   

මේ අනුව චිත්‍රවලින් තමන් අනාගතයේදී ඉන්ජිනේරුවන්, ගුරුවරුන්, වෛද්‍යවරුන් මෙන්ම අනාගත නාසා විද්‍යාඥයන්, තානාපතිවරුන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා වීමේ බලාපොරොත්තු විදහා දක්වා තිබෙන බව සමාගම සඳහන් කරයි. එලෙසම බාධක ජයගෙන සිහින සැබෑ කරගනිමින් හොඳ අනාගතයක් අත් කර ගැනීම පිළිබඳ බලාපොරොත්තු මතු කර තිබේ.  

මෙම චිත්‍ර සහ රචනා තරගයට සහභාගී වූ සියලුම දරුවන්ට සෙලින්කෝ ලයිෆ් විසින් සහතික පත්‍රයක් ප්‍රදානය කළ අතර මේ වනවිට වයස් කාණ්ඩ තුනක් යටතේ ජයග්‍රාහකයන් 362 දෙනකු සමාගම විසින් තෝරාගනිමින් සිටී. මෙම තරගයේ සම්මාන ප්‍රදානය ළඟදීම පවත්වන බවත් ජයග්‍රහණය කරන චිත්‍ර මහජන ප්‍රදර්ශනයට අවස්ථාව සලසමින් අන්තර්ජාලය ඔස්සේ එම චිත්‍ර ප්‍රදර්ශනය කරන බවද සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.  

මෙම තරගය සඳහා සහභාගී වූ තරගකරුවන්ගේ නිර්මාණ එක් කරමින් ඔවුන්ගේ අනාගත සිහින සැබෑ කරගැනීමට ඔවුන් උනන්දු කරමින් සෙලින්කෝ ලයිෆ් විසින් වීඩියෝවක් නිර්මාණය කර තිබෙන අතර එය සමාගමේ සමාජ මාධ්‍ය නාළිකා ඔස්සේ ප්‍රචාරය කරන ලදී. සමාගම සඳහන් කරන්නේ මේ දක්වා එම වීඩියෝව සඳහා 870,000ක නැරඹුම් වාර ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් ඉදිරියේදී තවදුරටත් මෙම වීඩියෝව ප්‍රචාරය කරන බවයි.  

මෙම ‘සිහින සිතුවම්’ තරගය අවුරුදු 04 සිට 15ක් දක්වා දරුවන්ට විවෘත වූ අතර මෙය වයස් කාණ්ඩ තුනක් යටතේ පවත්වන ලදී. මෙහිදී දරුවන් විසින් සිතුවම් කළ චිත්‍ර සහ සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්වලින් ලියූ රචනා සමාගම විසින් පෙබරවාරි 01 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා භාර ගත්තේය. මෙහිදී මෙම වයස් කාණ්ඩ තුන අතුරින් එක් වයස් කාණ්ඩයක් සඳහා එක් නිර්මාණයක් ලබාදීමේ අවස්ථාව දරුවන්ට ලබාදී තිබුණු අතර අවුරුදු 4-7 අවුරුදු 8-11 අවුරුදු 12-15 යන වයස් කාණ්ඩ තුන යටතේ සමාගම විසින් නිර්මාණ භාර ගන්නා ලදී. මෙම වයස් කාණ්ඩ තුන සඳහාම චිත්‍ර තරගය පැවැත්වුණු අතර රචනා තරගය පැවැත්වුණේ වයස් කාණ්ඩ 02ක් සඳහා පමණි. 

මෙම සෑම වයස් කාණ්ඩයකම ඒ ඒ භාෂාවන්ද ආවරණය වන පරිදි පළමු ස්ථානය දිනාගන්නා දරුවන්ට එක් අයකුට රුපියල් 30,000ක් බැගින් මුදල් ත්‍යාග සමාගම විසින් ලබාදෙන අතර දෙවැනි ස්ථානයට එක් අයකුට රුපියල් 20,000ක් සහ තෙවැනි ස්ථානයට එක් අයකුට රුපියල් 10,000ක් බැගින් සමාගම විසින් මුදල් ත්‍යාග ලබාදෙනු ඇත. මීට අමතරව ළමා චිත්‍ර ශිල්පීන් 25 දෙනකුට දිස්ත්‍රික් වශයෙන් සමාගම විසින් ත්‍යාග පිරිනමන අතර චිත්‍ර සහ රචනා තරගයේදී දක්ෂතා දැක්වූ දරුවන්ට සැනසිලි ත්‍යාග ලබාදීමටත් කටයුතු කරනු ඇත. සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2022 වසරේ පෙබරවාරි 11 වැනිදා සිට 17 වැනිදා දක්වා සිදුකළ ජීවිත රක්ෂණ සතියට සමගාමීව ‘සිහින සිතුවම්’ වැඩසටහනද පැවැත්වූ අතර එම සතියේදී සමාගම විසින් ජීවිත රක්ෂණයක තිබෙන වැදගත්කම සහ එමඟින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කරන ලදී.