සිහින අතහැරෙන දිගම තත්පරය

0
123

“නුඹ තවදුරටත් දැනගත යුතු දේ මේකයි. සිහිනයක් සැබෑ කරගන්න කලියෙන් විශ්වාත්මය, සිහිනයේ උරුමකරුවාව දිගින් දිගටම පරීක්ෂාවට ලක් කරනවා. එහෙම කරන්නේ විශ්වාත්මය නරක කෙනෙක් නිසා නෙමෙයි. එහෙම කරන්නේ එතකොට අපිට සිහිනය සැබෑ කර ගැනීමට අමතරව සිහිනය ලුහුබැඳ යන ගමනේදී ඉගෙන ගත් පාඩම්වල පරතෙරට යන්න හැකිවෙන නිසයි.” විශ්වීය සිහිනයන් කරා මිනිසුන් රැගෙන යන්නට වහා පොලඹවන සුළු කෘති ගණනාවක් රචනා කරන පාවුලෝ කොයියෝ අල්කෙමිස්ට් නම් තම කෘතහස්ත නවකතාවේදී එලෙස සටහනක් ඉදිරිපත් කරනවා. අල්කෙමිස්ට් නවකතාවේ තම ඉරණම ලුහුබැඳ යන එ‍ෙඩ්ර කොලුවාට කාන්තාරයේ හමුවුණු රස විද්‍යාඥයා අළුයමට පෙර ගත කරන්නට සිදුවන රාත්‍රියේ අන්ධකාරම හෝරාව ගැන කොලුවාට එසේ විස්තර කරනවා.

අල්කෙමිස්ට් ලොව සියලු වර්ගයේ සිහින දකින්නන්ට තම සිහින වඩා විශාල ලෙස තම දර්ශන පථයට හසුකරගන්නට අත්වැල් සපයනවා. සිහින නොදකින්නන්ට සිහින දැකීමේදී අත්විඳිය හැකි විශ්වීය ප්‍රතිලාභ සම්බන්ධව බලපෑම්සහගත බස් වහරකින් ඒත්තු ගන්වනවා. සිහින අත්නොහැර අඛණ්ඩව සිහින දකින්නටත්, තම සිහිනයන් කරා ළඟාවූ මිනිසුන්ට අවසන් හෝරාවේදීත් බලාපොරොත්තු සහගත ලෙස ජීවිතයේ කොළ එළි ගැන විශ්වාසය තබන්නටත් ධනාත්මක ආමන්ත්‍රණයක් ලබාදෙනවා. කොයියෝගේ අල්කෙමිස්ට් කෘතිය ඔබ කියවූවා නම් මම කියූ කාරණා සියල්ල ඔබ වඩා හොඳින් අත්විදීන්නට ඇති. එය ඔබට විශ්වාත්මය කෙරෙහි බලාපොරොත්තු තබමින් ඉරණම දිගේ ඉදිරියට පියවර තබන්නට හේතු සාධක වෙන්න ඇති. ඔබට අල්කෙමිස්ට් කියවීම මඟහැරුණා නම් එය කියවන්න කියන බලපෑම් සහගත යෝජනාව මම ඔබට ලිපිය ආරම්භයේදීම ගෙන එනවා.

විශ්වාසයේ හෝරාව The hour of faith

අබ්දුල් සදාත් නම් අරාබි ජාතිකයා මීට වසර ගණනාවකට පෙරදී තම පරපුරෙන් තමාට උරුමවන්නට නියමිත නිධානයක් පිළිබඳව හෝඩුවාවක් අහම්බෙන් මෙන් දැනගන්නවා. ඒ ඔස්සේ යමින් වසර ගණනාවක යාත්‍රාවකින් පස්සේ ඔහු නවතින්නේ තමන් නොදන්නා දේශයක සුවිසල් ගල් පර්වතයක් අබියස. නිධානය පිළිබඳ ලැබුණු ඉඟි, නිමිති, තොරතුරු සියල්ල සැලකිල්ලට ගනිමින් තම නිධානය මතු කරන්න ඔහු විශාල ගල් පර්වතයක් කණින්නට පටන් ගන්නවා. නිදි නැති රාත්‍රීන් සිය ගණනක් ගෙවී යනවා. අවිවේකී දින සටහන් ගණනාවක් ඔහු පසු කරනවා. ඔහුට වෙහෙස දැනෙනවා. ඔහුට මහන්සිය දැනෙනවා. සමහර දිනවල ඔහු රෝගී වෙනවා. විවිධ අවස්ථාවල ඔහුට නවතින්නට, සිහිනය අතහැර දමන්නට හේතු සාධක පෙන්වමින් විශ්වය ඔහුව පරීක්ෂාවට ලක් කරනවා.

නමුත් ඔහු උත්සාහ යනම් අතහරින්නේ නැහැ. ඔහු විශාල ගල් පර්වතය දෙකඩ වී ගොස් කුඩා පාෂාණමය කොටසක් දක්වා එය පරිවර්තනය වෙන තුරු වසර ගණනාවක් උත්සාහයේ නිරත වෙනවා. නමුත් එක්තරා අඳුරු රාත්‍රියක හිටිහැටියේම තමන්ගේ උත්සහය පිළිබඳ කනගාටුවක් වගේම විස්සෝපයක් ඇති කරගන්න මේ තරුණයා තමාටම ‍ෙදාස් පවරාගනිමින් වසර ගණනාවක් නොදන්නා නිධානයක් වෙනුවෙන් තමා කැපකළ කාලයට සාප කරනවා. ඔහු කොයිතරමට පස්තැවීමට ලක්වී සිටියද කිව්වොත් ඔහු පර්වතය කණින්නට උපාකාර කරගත් විශාල ගල් කටුවෙන් වේගවත් පහරක් පර්වතය දෙසට සිය වේදනාව පිටකිරීමේ අරමුණින් එල්ල කරනවා.

නමුත් ඊළඟට සිද්ධ වෙන්නේ ඔහු හීනෙකින්වත් නොහිතපු දෙයක්. අවසන් පාෂණ කොටසත් දෙකඩ වී ගොස් ඒ තුළින් තද නිල් පැහැයෙන් දිලිසෙන මාණික්‍යයක් මතුවෙනවා. ඒ අවසන් රාත්‍රියේ, අවසන් හෝරාවේ අවසාන මිනිත්තුවේදී ඔහු තම නිධානය එසේ සොයාගන්නවා. නිධානයේ නියම උරුමකරුවා බවට පත්වෙනවා.

අබ්දුල් සදාත් තම උත්සාහය අවසන් මොහොතේ  අතැර දැමුවා නම්, කෝපයෙන් හෝ අවසන් ගල් කටු පහර නොගැසුවා නම් ඔහුගේ අවසාන මොහොතේදී වසර ගණනාවක කැප කිරීම අපතේ යන්නට ඉඩ තිබුණා. ඔහුට පරාජිතයෙක් ලෙස දිනයක මියයන්නට සිදුව තිබුණා. අසාර්ථක ලෙස නැවත තම දේශය බලා පියමනින්ට යුතුව තිබුණා.

අබ්දුල් සදාත් විතරක් නෙමෙයි තම ඉරණම ලුහුබැඳ යන, තම සිහින හඹායන මිනිසුන් බහුතරය බොහෝ වේලාවට උත්සාහය අතහැර දමන්නේ ඉරණමට බොහෝ සේ ළංවූ, සිහිනයට බොහෝ සේ සමීප වූ අතිශය තීරණාත්මක අවස්ථාවේදී. එහෙමත් නැත්නම් විශ්වාසයේ හෝරාවේදී. විශ්වාසය තදින් දල්වා අවසන් ගල් කටු පහරත් තම අරමුණ දෙසට තදින් එල්ල කල යුතු කාලසීමාවේදී තමයි විශ්වය මිනිසකුගේ ඉරණම ලිවීම පිළිබඳ සුදුසුකම අවසන් වශයෙන් පරීක්ෂාවට ලක් කරන්නේ.

ඔබ අඛණ්ඩව වසර ගණනාවක් තිස්සේ කැපවීම් කරමින්, දිවා රෑ නොබලා වෙහෙසෙමින්, බොහෝ දේ කැපකරමින් යම්කිසි නිශ්චිත සිහිනයක් වෙනුවෙන් වැඩකළත් ඔබට එහි අග්‍රඵලය ලබාගන්නට තවම නොහැකිවුණා නම් ඒ ගැන බලාපොරොත්තු විරහිත කරගෙන පසුතැවීමෙන් අතහැර දමන්නට නම් ඉක්මන් වෙන්න එපා. මොකද ඒ සඳහා ඔබට අවසන් ගල් කටු පහර ලබාදීමට තිබෙන්නේ ඊළඟ නිමේෂයේ වෙන්න පුළුවන්. ඔබේ විශ්වාසයේ හෝරාව මේ ඔබ ගත කරන තීරණාත්මක මොහොත වෙන්න පුළුවන්.

හදවත හතිවැටුණම කකුල්වලින් ඇවිදින්න When your heart feels tired, walk with your legs

ඇතමුන් විශ්වාසයේ හෝරාවේදී තමන් පිළිබඳව විශ්වාසය අහිමි කරගැනීමෙන් සිහින අතහැර දමනවා.

ඇතමුන් විශ්වාසයේ හෝරාවේදී තමන් පිළිබඳව අනිකා කුමක් හිතයිද යන කාරණාව මත පදනම්ව සිහින අතහැර දමනවා.

ඇතමුන් විශ්වාසයේ හෝරාවේදී අනිකා තම සිහිනය අනිකා කෙසේ තේරුම් ගනීද යැයි සිතමින් තම මෙහෙයුම නතර කරනවා.

ඇතමුන් විශ්වාසයේ හෝරාවේදී මහන්සිය දැනීමෙන්, විඩාවට පත්වීමෙන්, රෝගී වීමෙන් සිහින අතහැර දමනවා.

ඇතමුන් විශ්වාසයේ හෝරාවේදී විශ්වාත්මයේ පරීක්ෂාව පිළිබඳ අවබෝධයක් නොමැතිකමින් සිය සිහින අතහැර දමනවා.

ඇතමුන් විශ්වාසයේ හෝරාවේදී අනිකාගේ අදහස්වලට, අනිකාගේ කතාවලට කන්දීමෙන් සිය සිහින අතහැර දමනවා.

ඇතමුන් විශ්වාසයේ හෝරාවේදී විශ්වය විසින් ඉගැන්වීමට උත්සාහ දරන පාඩම වෙනුවට අසාර්ථකත්වය ගැන සිතන්නට යෑමෙන් තම සිහින අතහැර දමනවා.

“කවදාවත් නවතින්න එපා. ඔයාගේ හදවත විඩාවට පත්වුණාම ඉරණම දෙසට කකුල් දෙකෙන් විතරක් හරි ඇවිදගෙන යන්න. කෙසේ හෝ ඉදිරියට යන්න”

විශ්වාසයේ හෝරාවේදී සියල්ල අහිමිවෙද්දී, ඔබ කායිකවත්, මානසිකවත් උපරිම මට්ටමින් හතිවැටෙනවා. ඒ අවස්ථාවේදී හති වැටුණු හදවත පසෙකින් තියලා අවසන් උත්සාහයත් මිනිසෙක් තම ඉරණම වෙනුවෙන් දැරිය යුත්තේ කෙසේද යන්න පාවුලෝ කොයියෝ එසේ අපූරුවට විස්තර කරනවා.

ඔබව අවසානය දක්වා රැගෙන යන ප්‍රශ්නය Question that leads you to the end

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ව විවිධ අවස්ථාවල විශ්වය පරීක්ෂාවට ලක් කරනවා. ඔහුගේ පළමු නිෂ්පාදන මන්දිරය වූ “Dreams unlimited” අසාර්ථකත්වයට පත්වෙනවා. රූපවාහිනියේ පෙනී සිටින්නට ඔහුට තිබූ අපේක්ෂා වරක් සුන් වී යනවා. ක්‍රීඩකයෙක් වීමට කාලයක් මැවූ සිහිනය බොඳවී යනවා. නමුත් ඔහු අවසන් හෝරාව දක්වා තමා පිළිබඳව දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරලා තමන්ගේ ඉරණම තමන් නමින්ම ලියාගන්නවා.

හිටපු ඇමරිකානු ජනාධිපති එබ්‍රහම් ලින්කන් විශ්වාත්මයේ පරීක්ෂාවට ලක්වෙනවා. වරක් ඔහුගේ ව්‍යාපාරය අසාර්ථක වෙනවා. වරක් බිරිය මියයනවා. වරක් රැකියාව අහිමි වෙනවා. ඔහු අසාර්ථක නිවේදකයකු ලෙස හංවඩු ගැහෙනවා. නමුත් ඔහු විශ්වාසයේ හෝරාව දක්වා තමන්ගේ සිහිනයන් පිළිබඳව දැඩි විශ්වාසයෙන් කටයුතු කරලා අවසානයේ සාර්ථකත්වයේ ගිරි මුදුන ස්පර්ෂ කරනවා.

වෝග් සඟරාවේ ප්‍රධාන කර්තෘ ධුරයට පත්වෙන්නට ප්‍රථම ඇනා වින්ටෝර්ව හාපර්ස් බසාර්හි ඇයගේ ධුරයෙන් නෙරපා හරිනවා. ඉරණම ඇයව පරීක්ෂාවට ලක් කරමින් අභියෝග කරද්දී ඇය තම ඉරණමට අභියෝග කරමින් ශක්තිමත් කාන්තාවක් ලෙස නැඟී සිටිනවා.

අඛණ්ඩව පහර පිට පහර ගසමින් ජීවිතය ඔවුන්ට අභියෝග කරද්දී, ඉරණම ඔවුන්ව මුළා කරන්නට උත්සහෙ කරද්දී සියල්ල පසෙකින් තියලා දැඩි අධිෂ්ඨානයෙන් තම අරමුණ කරා යන්න ඔවුන්ට බලපෑම් සහගත වුණු විශේෂ සිද්ධියක් තියනවද? යම් කාරණාවක් තියනවද?

“When they wanted to give up, they remembered why they started”

අවසන් හෝරාවේ, අවසන් මිනිත්තුවේ, අවසන් තත්පරයේදීත් මිනිසකුට තම ජීවිතයේ කොළ එළි සම්බන්ධව විශ්වාසය තබන්න නම්, අවසාන නිමේෂයේදීත් මිනිසකුට තම ඉරණම වෙනුවෙන් සටන් කරන්න නම් “ඇයි මම පටන්ගත්තේ?” කියන ප්‍රශ්නය නැවත නැවත තමාටම ප්‍රතිරාවය කරගන්න සිද්ධවෙනවා. විශ්වීය සිහිනයන් ජයගත් ඕනෑම මිනිසෙක් විශ්වාසයේ හෝරාවේදී ඒ ප්‍රශ්නය නැවත නැවතත් ප්‍රතිරාවය කරමින් තමන්වම ප්‍රශ්න කරගෙන තිබෙනවා. එහෙම ප්‍රශ්න නොකරගත් අයෙක් ඇත්තටම හොයාගන්නත් බැරි තරම්. සියල්ල ඔබව අඩපණ කරද්දී, ඔබ ගමනක අතරමඟ ගිලන් වෙද්දී, ඔබ හති වැටෙද්දී හොඳ හුස්මක් රැගෙන නව ජවයකින් තවත් පියවරක් ඉදිරියට තියන්න බලපෑම් සහගත වෙන ප්‍රශ්නය විදියට එය සෑම විටම ක්‍රියා කරනවා.

“When you want to give up, remember why you started”

බුදුන් වහන්සේ සිය විශ්වාසයේ හෝරාව ගත කළ ආකාරය බෞද්ධ දර්ශනය තුළ හරි අපූරුවට විස්තර කරනවා. ශරීරයට අධික සැප දෙමින්, වරෙක දුක් දෙමින් සිය චාරිකාවේ ඉදිරියට පැමිණ අවසානයේ මැදුම් පිළිවෙත ඔස්සේ විශ්වාසයේ හෝරාව දක්වා පැමිණෙන උන්වහන්සේ, අවසන් නිමේෂයේදී  තමා පිළිබඳ දැඩි අධිෂ්ඨානයෙන්, බුදුවී මිසක් මෙතැනින් නොනැඟිටින බව තරයේ සිහි තබා ඇසතු බෝ රුක මුල හිඳගන්නවා. ඒ අවස්ථාවේ උන් වහන්සේ එහෙම දැඩි විශ්වාසයකින් එතන හිඳ නොගත්තා නම්, අවසාන නිමේෂයේදී තම අරමුණ අතහැර දැමුවා නම්, ඉතිහාසය වෙනස් වීමට බොහෝ සේ ඉඩකඩ තියෙනවා.

විශ්වාසයේ හෝරාවට ඔබ ආසන්න වී සිටිනවාද, එය ඔබට තවත් බොහෝ දුරින් පිහිටනවාද කියන කාරණයට වඩා ප්‍රථමයෙන් ඔබ විශ්වාසයේ හෝරාව ඔබට හමුවෙන ගමන් මඟෙහි සිටිනවාද කියලා සිතා බලන්නට මොහොතක් වැය කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔබ ඔබේ ඉරණම සොයායාමේ තීරණාත්මක චාරිකාවේ ස්ථිර ලෙසම නිරත වෙනවානම් විශ්වාසයේ හෝරාව කුමන මොහොතක හෝ උදාවෙනවා. ඇතැම් විට එය අද දවස වෙන්න පුළුවන්. මේ ගෙවීයන පැය, මේ ගෙවීයන මිනිත්තුව, මේ ගෙවීයන තත්පරය වෙන්න පුළුවන්. නැතිනම් එළඹෙන ඊළඟ නිමේෂය වෙන්න පුළුවන්. ඒ නිසා කිසිම වෙලාවක ඔබේ සිහින අතහැර දමන්න, විඩාබර හැඟීමෙන් ගමන නවත්වා දමන්න නම් ඉක්මන් වෙන්න එපා. “මැජික් සිද්ධ වෙන්නේ ඔබට අවශ්‍ය වුණත් ඔබ එය අත් නොහරිනකොට.  විශ්වය හැම වෙලාවෙම වහ වැටෙන්නේ මුරණ්ඩු හදවතකට” ප්‍රසිද්ධ බටහිර කියමනක එසේ ලියවී තිබෙනවා.