ස්වාධීන පක්‍ෂ දහය ආණ්ඩුවට එරෙහි පුළුල් පෙරමුණකට

0
15

ආණ්ඩුවට එරෙහිව පුළුල් පෙරමුණක් ගොඩනැඟීමට පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්‍ෂ දහයේ මන්ත්‍රිවරුන් තීරණයක් ගෙන තිබේ. මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින සෙසු මන්ත්‍රිවරුන්ද මෙම පෙරමුණ සඳහා එක් කර ගැනීමට නියමිතය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව සමඟ ගමනක් යෑමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති නිසා මෙම පුළුල් පෙරමුණ ඉතා කඩිනමින් පිහිටුවීමට කටයුතු කරන බවද ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

මෙම නව පෙරමුණ හා සම්බන්ධවීමට නියමිත කිසිදු මන්ත්‍රිවරයෙක් ආණ්ඩුවේ කිසිදු තනතුරක් භාර ගැනීමට අදහස් නොකරන බවද නානායක්කාර මහතා පැවැසීය.

මුදල් අමාත්‍යාංශයේ ඊයේ (26දා) පැවැති ආණ්ඩු පක්‍ෂ “ගෘප් මීටින්” එකකට සහභාගි වන ලෙස කාන්තාවක් තමාට දුරකථන ඇමැතුමක් ලබාදුන් නමුත් තමා ඒ සඳහා සහභාගි නොවූ බවද නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කුමුදු උපුල් ශාන්ත