ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් රුපියල් බිලියන 9.8ක බෝනස් දීමනාවක් ප්‍රකාශයට පත් කරයි

0
23

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රු. බිලියන 9.8ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2021 වසර සඳහා සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත ප්‍රදානය කරන අතර 2005 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 83ක මුදලක් බෝනස් දීමනාව ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

එසේම පවත්නා ව්‍යාපාර පරිසර තත්ත්වයට  අනුවර්තනය වීම සඳහා නම්‍යශීලී වෙමින්, සියලුම බෝනස් සහතික ඩිජිටල් මාධ්‍යයන් හරහා SMS” email සහ Apple App Store සහ Google Playstore ඔස්සේ ලබාගත හැකි SLIC ජංගම ඇප්  හරහා නිකුත් කර ඇත.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් රට තුළ පැවති අසීරු තත්ත්වය මධ්‍යයේ  සහ මේ වනවිට පවත්නා අභියෝගාත්මක ආර්ථික හා සමාජ තත්ත්වය මධ්‍යයේ වුවද මෙම බෝනස් දීමනාව ප්‍රකාශයට පත්කිරීමත් සමඟින් ජීවිත රක්ෂණ වෙළෙඳපොළ තුළ ඉහළ ප්‍රතිලාභ ලබාදෙන ජිවිත රක්ෂණයක් ලෙස ඔප්පු හිමියන් විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙත තබා ඇති විශ්වාසය නැවත තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතු ක්‍රමවත් ආයෝජන කළමනාකරණ උපායමාර්ග හා රු. බිලියන 152 වන රක්ෂණ ක්‍ෂේත්‍රයේ දැවැන්ත ජීවිත රක්ෂණ අරමුදල සිය ජීවිත රක්ෂණ සැලසුම් හිමියන්ට ඉහළ ප්‍රතිලාභ ලබාදීම සඳහා හේතුවී ඇති අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ස්ථාවරත්වය සහ මුල්‍යමය ශක්තිය තහවුරු කරමින්  මේ වනවිට රු. බිලියන 268ක් වන රක්ෂණ ක්‍ෂේත්‍රයේ අසමසම වත්කම් සම්භාරයකටද හිමිකමි කියයි. එසේම 2021 වසර තුළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි ජීවිත රක්ෂණ වාරික ආදායම් අගය රු. බිලියන 19.3ක සිට රු. බිලියන 21.9ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්ව තිබෙන අතර එහි වර්ධනය 14.1%ක් වේ.

2021 වර්ෂය තුළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයෙහි ව්‍යාපාර උපායමාර්ග පාරිභෝගකයන් සඳහා පහසුව සැලසීම කේන්ද්‍රගත කොටගෙන ක්‍රියාත්මක වූ අතර මේ අනුව ඔන්ලයින් ගෙවීම් පහසුකම් සැලසීම, පොලී රහිත පහසු ගෙවීම් ක්‍රම හඳුන්වා දීම සහ ඔන්ලයින් හරහා ජීවිත රක්ෂණ යෝජනා පත්‍ර භාරදීම ක්‍රියාත්මක කිරීම මේ අතර වේ.

එමෙන්ම පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතාවලට සරිලන ලෙස නිර්මාණය කරන ලද ජීවිත රක්ෂණ සැලසුම් රැසක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතුව තිබේ.

ජීවිත රක්ෂණ සඳහා ඇති ප්‍රවේශය වඩාත් ඉහළ නංවමින් වඩාත් ප්‍රායෝගික සහ දැරිය හැකි රක්ෂණ විසඳුම් රක්ෂණ වෙළෙඳපොළට හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නිරන්තරයෙන් සිය මුලික රක්ෂණ විසඳුම් වැඩිදියුණු කරනු ලබන අතර ඒ අනුව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Early Cash සහ මිණිමුතු අධ්‍යාපන සැලසුම් වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවන් සඳහා වඩාත් ගැළපෙන අයුරින් වැඩිදියුණු කරමින් නැවතත් හඳුන්වා දෙන ලදී.

සමාගම ආරම්භයේ සිට ජීවිත රක්ෂණයක් ලබා ගැනීමේ වැදගත්කම ශ්‍රී ලාංකේය ජනතාවට අවබෝධ කරදීම සිය අරමුණු අතර ප්‍රමුඛ ස්ථානයක ලා සලකන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මේ වන විටද ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම ජීවිත රක්ෂණයේ පණිවිඩය රැගෙන යන මෙහෙවරේ පෙර ගමන් කරු ලෙස ක්‍රියා කරයි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පරම්පරා ගණනක් මුළුල්ලේ දිනාගත් ජනතා විශ්වාසය තහවුරු කිරීමට සමාගම විසින් ළඟා කරගෙන තිබෙන ගෞරව සම්මාන සාක්ෂි දරන අතර 2022 වසරේද බ්‍රෑන්ඩි ෆිනෑන්ස් මඟින් වසරේ “වඩාත්ම ජනාදරයට පත් රක්ෂණ සන්නාමය” ලෙස අඛණ්ඩව පස්වැනි වරටත් ගෞරවයට පාත්‍ර වීම මෑතකදී ලබාගත් ඉහළම ජනතා සම්මානය ලෙස දැක්විය හැකිය.