ශ්‍රී ලංකාව ලකුණු 323ක් ඉදිරියෙන්

0
69

ශ්‍රී  ලංකාව හා සංචාරක පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (26දා) අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල කඩුලු 5ක් දැවී ලකුණ 176ක් ලබා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා පිල මේ වනවිට පාකිස්තාන පළමු ඉනිමට වඩා කඩුලු 5ක් අතැතිව ලකුණු 323ක් ඉදිරියෙන් සිටීමට සමත්ව තිබීමද විශේෂත්වයකි.

පාකිස්තානු පළමු ඉනිමට වඩා ලකුණු 147ක් ඉදිරියෙන් සිට දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ ඕෂධ ප්‍රනාන්දු හා දිමුත් කරුණාරත්නගේ ආබාධය හේතුවෙන් පිතිකරණ උසස්වීමක්ද සමඟින් පැමිණි නිරෝෂන් දික්වැල්ලට යහපත් ආරම්භයක් ලබාගැනීමට නොහැකි විය. පන්දු 25කට මුහුණ දී හතරේ පහර දෙකක් සමඟින් ලකුණු 15ක් ලබා සිටි දික්වැල්ල කඩුලු රකින

රිෂ්වාන් අතට උඩපන්දුවක් ලබාදී

නෂීම් ෂාගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 27ක් විය.

ඉන් අනතුරුව ඕෂධ ප්‍රනාන්දුට එක් වූ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට වෙහෙසුනද ලකුණු 19ක් ලබා සිටි ප්‍රනාන්දු ක්‍රීඩාගාරයට හරවා යැවීමට යසීර් ෂා සමත්වීමත් සමඟ ශ්‍රී ලංකා පිල පීඩනයකට ලක්වූ බව පෙනෙන්නට තිබිණි.   එය තවදුරටත් තහවුරු කරමින් ලකුණු 15ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් ස්විප් පහරක් ගැසීමට උත්සාහ කළද එය වැරැදී යෑමෙන් කඩුල්ල මුවාකිරීමේ වරදට හසු කරගැනීමට නවාස්ට හැකියාව ලැබිණි.

කඩුලු 3ක් ලකුණු 59ක් තුළ බිඳ වැටී තිබියදී 100 වැනි ටෙස්ට් තරගයට සහභාගි වන ඇන්ජිලෝ මැතිව්ස්ට එකතු වූ දිනේෂ් චන්දිමාල් ගරා වැටුණු ඉනිම පිළිසකර කිරීමට වෙහෙසුනද සල්මාන්ගේ පන්දුවක් හමුවේ පාකිස්තානු නායකයාට උඩපන්දුවක් ලබා දී මැතිව්ස් ක්‍රීඩාගාරයට පිවිසෙන විට ඔවුන් දෙදෙනා අතර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක සබඳතාවක් ගොඩනැගී තිබිණි. මැතිව්ස්ගේ දැවී යෑමෙන් අනතුරුව ලකුණු 21ක් ලබා සිටි චන්දිමාල්ද නෂීම්ගේ තවත් ගොදුරක් බවට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 117ක් ලෙස පරිවර්තනය විය.

මේ අවස්ථාවේදී නායක කරුණාරත්නට එකතු වූ ධනංජය ද සිල්වා අවශ්‍ය වේලාවේදී මුක්කුවක් ගසමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගයෙන් ඉහළ දැමීමට දායකත්වය සැපයීය. 

ඒ අනුව දිනය නිමා වනවිට ධනංජය සහ දිමුත් එක්ව ශ්‍රී  ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ලට ලකුණු 59ක තීරණාත්මක සම්බන්ධතාවයක් ගොඩනඟා තිබිණි. ධනංජ ද සිල්වා ලකුණු 30ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 27ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටියේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වෙන මෙම තරගයේදි පාකිස්තාන

පළමු ඉනිම ලකුණු 231කට සීමා කළ

රමේෂ් මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 147ක් ඉදිරියෙන් සිටීමට සමත්විය.

පෙරේදා දිනයේදී කඩුලු 7කට ලකුණු 191ක් ලබා සිටි පාකිස්තානය තවත් ලකුණු 32ක් එකතු කරගනිමින් සිටියදී ලකුණු 21ක් ලබා සිටි හසන් අලී ක්‍රීඩාගාරයට හරවා යැවීමට ජයසූරියට හැකිවිය. එතැන් සිට පාකිස්තානයට සුභවාදී නොවූ අතර, නවුමාන් අලී එක ලකුණකටත්, අවසන් කඩුල්ල ලෙස යසීර් ෂා ලකුණු 26කටත් තමන්ගේ කඩුලු දඩයමට ඇතුළත් කරගත් රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් දිවියේ කඩුලු 5ක් ලැබූ තෙවැනි අවස්ථාව සටහන් කරගත්තේය.

 තරගයේ කාසියේ වාසිය දිනා පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් ලැබූ ලකුණු 378ට පිළිතුරු සැපයූ පාකිස්තානයට පළමු ඉනිම වෙනුවෙන් ලබාගැනීමට හැකි වූයේ ලකුණු 231ක් පමණි. අද තරගයේ සිවුවැනි දිනයයි. 

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව පළමු ඉනිම _ 378

(දිනේෂ් චන්දිමාල් 80, නිරෝෂන් දික්වැල්ල 51, ඕෂධ ප්‍රනාන්දු 50, ඇන්ජිලෝ මැතිව්ස් 42, දිමුත් කරුණාරත්න 40,

රමේෂ් මෙන්ඩිස් 35, නෂීම් ෂා 3/58,

යසීර් ෂා 3/83)

පාකිස්තානය පළමු ඉනිම _ 231

(අගා සල්මාන් 62, ඉමාම් උල් හක් 32, යසීර් ෂා 26, රමේෂ් 5/47, ප්‍රභාත් ජයසූරිය 3/80, ධනංජය 1/15, අසිත 1/62)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම

නිරෝෂන් දික්වැල්ල ඇ. රිෂ්වාන්

ප. නෂීම්             15

ඕෂධ ප්‍රනාන්දු ක.මු.ක. ප. යසීර්     19

කුසල් මෙන්ඩිස් ක.මු.ක. ප. නවාස්            15

ඇන්ජිලෝ මැතිව්ස් ඇ. බාබර් ප. සල්මාන්                           35

දිනේෂ් චන්දිමාල් ඇ. රිෂ්වාන් ප. නෂීම්       21

දිමුත් කරුණාරත්න නොදැවී         27

ධනංජය ද සිල්වා නොදැවී            30

අතිරේක 14

මුලු ලකුණු (පන්දුවාර 50කදී කඩුලු 5කට) 176

කඩුලු වැටීම _ 1-27, 2-47, 3-59, 4-100, 5-117

පන්දු යැවීම _ නෂීම් 9-1-29-2, යසීර් 12-2-41-1, නවාස් 11-2-32-1, සල්මාන් 7-1-18-1

ඡායාරූප අනුග්‍රහය – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  

විචිත්‍ර වීරසිංහ _ ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ සිට..