වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය 9 වැනි වරටත් සැප්තැම්බර් මාසයේදී

0
9

වෙළෙඳසේවා වොලිබෝල් සංගමය මඟින් සංවිධානය කරනු ලබන වෙළඳසේවා වොලිබෝල් තරගාවලිය අඛණ්ඩව 9 වැනි වරටත් එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම්.වී.ඒ. ප්‍රෝ (MVA Pro) සහ ආධුනික වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ කාන්තා සහ පිරිමි යන දෙඅංශයෙන්ම ජාත්‍යන්තර වොලිබෝල් නීති රීතින්ට අනුකූලව මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත. එමෙන්ම මෙම තරගාවලියේ ශූරයන් සහ අනුශූරයන් සඳහා කුසලාන සහතිකපත්වලට අමතරව සම්පූර්ණ තරගවලියේදී රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් මුදල් ත්‍යාග පිරිනැමීමට සැලසුම් කර තිබීමද විශේෂත්වයකි.

මෙම තරගාවලියේ මූලික වටයේ තරග එළැඹෙන සැප්තැම්බර් මස 17 සහ 18 යන දිනයන්හිදී දඩැල්ල වොලිබෝල් සම්මේලන ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. එමෙන්ම මෙහි අවසන් මහා තරග එළැඹෙන නොවැම්බර් මාසයේදී මහරගම ජාතික යොවුන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවද මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ නිවේදනයක දක්වා තිබිණි.

දේශීය වෙළෙඳ ආයතන අතර සුහදතාව සහ සහෝදරත්වය වර්ධනය කිරීම, ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික

තළයට හඳුන්වාදීම මෙන්ම වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී  ලංකාව තුළ තවදුරටත් ප්‍රචලිත කිරීම මෙම තරගාවලියේ අරමුණ වී තිබේ.  ඒ අනුව මෙම වසරේ ජූලි මස 30 වැනිදාට පෙර අදාළ ආයතනයන්හි සේවයට බැඳුණු සේවක සේවිකාවන්ට මෙම තරගාවලිය සඳහා සහභාගිවීමට හැකියාව පවතී. ඒ අනුව www.mva.lk යන වෙබ් අඩවිය ඔස්සේ මෙයට අදාළ අයැදුම්පත් භාගත කරගැනීමේ හැකියාව පවතී. එමෙන්ම නිසි ලෙස සම්පූර්ණ කළ අයැදුම්පත් සැප්තැම්බර් මස 8 වැනිදාට පෙර ‘වෙළෙඳසේවා වොලිබෝල් සංගමය, අංක 33, ටොරිංටන් පෙදෙස, කොළඹ 7 යන ලිපිනය වෙත යොමු කළ යුතු බවද මේ සම්බන්ධයෙන් වූ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබිණි. එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු චන්දන විජේසිංහ (අංක 0710682682) සහ තාරා (අංක 0765498086) අමතා ලබා ගත හැකිය.