වියපත් කතුන් දෙදෙනකු මරා කරාබු කුට්ටම් පැහැරගත් කුඩු ‘පැංචා’ කොටුවෙයි

0
19

නිවෙස්වල තනිව වෙසෙන වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනකු ගෙල සිරකර මරා ඔවුන්ගේ කරාබු කුට්ටම් ගලවාගෙන ගොස් මත්කුඩු පානය කළ “පැංචා” නමැති ප්‍රධාන සැකකරු මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.මොහු විසින් මෙලෙස ඝාතනය කර ඇත්තේ මකුළුගස්වැව පොලිස් වසමේ බඹරගස්වැව අලුත්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි හැත්තෑ හැවිරිදි අයි.එල්. පියසීලි නමැත්තියක් සහ පොල්ගහවෙල පොලිස් වසමේ යටිගල්ඔළුව දමුණුවෙල පදිංචි 73 හැවිරිදි නාදෙණිය ආරච්චිගේ සුමනාවතී නමැත්තියකි.

මෙම කාන්තාවන් දෙදෙනාව ඝාතනයට ලක්ව තිබුණේ නිවෙසේ තනිවම රැඳී සිටියදීය. සැකකාර පැංචා නමැත්තා තවත් පුද්ගලයකු සමඟ බඹරගස්වැව අලුත්වැව නිවෙසට පැමිණ නිවෙසේ තනිවම සිටි පියසීලි මාතාවගේ ගෙල වයරයකින් සිරකර ඇගේ මුහුණ කොට්ටයකින් තදකර මරා දමා තිබිණි. පසුව ඇගේ කනේ රැඳී තිබූ කරාබු දෙකට ඇගේ ජංගම දුරකථනයද ඔවුන් විසින් පැහැරගෙන ගොස් තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්න පැවැත්වූ මකුළුගස්වැව පොලිසිය පැංචා සමඟ පැමිණි අනෙක් පුද්ගලයා කොටුකර ගත්තද පැංචා ප්‍රදේශයෙන් පලාගොස් තිබිණි.

ඉකුත් 14 වැනිදා මෙම සිද්ධිය පොලිසියට වාර්තා වූ අතර ඉන්පසු ඉකුත් 20 වැනිදා සැකකාර පැංචා පොල්ගහවෙල දමුණුවෙල ප්‍රදේශයේ 73 හැවිරිදි සුමනාවතීගේ නිවෙසට ඇතුළු වී ඇය තනිවම රැඳුණු මොහොතක ඇගේ ගෙල මිරිකා ඇය මරා දැමීමෙන් අනතුරුව ඇගේ කන්පෙතිවල රැඳුණු කරාබු දෙක කඩාගෙන ඇතැයි පොලිසිය කීය. ඒ නිසා ඇගේ කන් දෙකට හානි සිදුව ඇතැයිද කියති.

පසුව ඇගේ නිවෙසින් ලැප්ටොප් යන්ත්‍රයක්ද පැහැරගෙන ගොස් ඇති සැකකරු තොටලඟ ප්‍රදේශයේ හිතවතකුගේ මාර්ගයෙන් ලැප්ටොප් යන්ත්‍රය සහ කඩාගත් කරාබු කුට්ටම් විකුණා එම මුදලින් මත්කුඩු පානය කර තිබේ.

පසුව මොහු සිය බිරිය පදිංචි නිවෙසට ගොස් ඔහුගේ කුඩා දරුවාගේ ගෙල බැඳි පංචායුධයද කඩාගෙන ගොස් විකුණා මත්ද්‍රව්‍ය පානය කර තිබේ.

සැකකරු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සැකකරුගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් ලබාගත් විශ්ලේෂණ වාර්තාවක් අනුව විමර්ශන පවත්වා කාන්තාවක් විසින් ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව සැකකරු කොටුකර ගැනීමට මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්ට හැකි විය.

පසුව සැකකරුගෙන් කරන ලද දීර්ඝ විමර්ශනකින් පසු කාන්තාවන් දෙදෙනා මරා පැහැරගත් කරාබු කුට්ටම්, ජංගම දුරකථන සහ නිසාන් වර්ගයේ මොටෝරියක් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක කෝකියකු හැටියට සේවය කර ඇති අතර පසුගිය කොරෝනා වසංගතය රටපුරා ව්‍යාප්ත වීමත් සමඟ රැකියාව අහිමිව මත්කුඩු පානයට ඇබ්බැහි වී ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ නවාතැනක කාන්තාවකගේ පැමිණීම  බලාපොරොත්තුවෙන් රැඳී සිටි මොහොතකදීය.

මාතලේ පොලිස් කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් වංශනාථ මහතාගේ මෙහෙයවීම මත මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාර, පොලිස් පරීක්ෂක කැලුම් බණ්ඩාර සහ උප පොලිස් පරීක්ෂක පේමසිරි දමයන්ත ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වති.

කීර්ති මෙන්ඩිස්, උකුවෙල – ප්‍රියන්ත පොල්වත්ත