වයඹ හිටපු ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල අභාවප්‍රාප්ත වෙයි

0
15

වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය දෙවරක් හෙබවූ යාපහුව පුරවරයේ බලල්ල ග්‍රාමයේ උපත ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙන්ම වෘත්තියෙන් නීතිඥයකු වූ දෙදරු පියකු වන  තිස්ස. ආර්. බලල්ල මහතා (85) ඉකුත් 25 දින කුරුණෑගල වැවරවුමේ පදිංචි නිවසේදී අභාවප්‍රාප්ත විය.

වෘත්තියෙන් නීතිඥයකු වූ තිස්ස ආර්. බලල්ල මහතා යාපහුව මැතිවරණ කොටසේ බලල්ල ග්‍රාමයේ 1937 ජූලි 15 දින උපත ලබා ඇති අතර යාපහුව ආසනය නියෝජනය කරමින් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයෙන් තරගවැදී 1970 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වී ඇත.

2007.10.06 දින වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයට පත්වූ තිස්ස ආර්. බලල්ල මහතා 2015.01.19 දක්වා පළමු ධුර කාලය ඉක්මවා ආණ්ඩුකාර ධුරයේ සේවයේ යෙදමින් සේවය කළ අතර එදා රජ දවස සිට පැවත එන ඓතිහාසික වටිනාකමක් සහිත ආණ්ඩුකාර පරිශ්‍රයේ වැඩසිටින බෝධීන් වහන්සේගේ බෝමළුව බාධාවකින් තොරව සියලු දෙනාටම ආගමික වතාවත් ඉටුකිරීම  සහ “වයඹ දම්සර” නමින් සෑම පසළොස්වක පෝදිනකම වයඹ පළාත පුරා විහාරස්ථාන මුල්කරගෙන පොදු ජනතාවට මෙන්ම දහම් පාසල් සිසුන්ට,  ස්වාධීන විද්‍යුත් නාළිකාව ඔස්සේ වයඹ බුදු දහමේ චිරස්ථිතිය සඳහා ආගමික වැඩසටහන නිර්මාතෘවරයා විය.

ඒ මහතා රෝගාතූරව සිටි අතර  කුරුණෑගල මලියදේව බාලිකාවේ ආදි ශිෂ්‍යාවක් වන වෘත්තියෙන් නීතිඥවරියක් වූ චින්තා මූණමලේ මහත්මිය සමඟ විවාහ වී සිටියේය. අභාවප්‍රාප්ත වූ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල මහතාගේ අවසන් කටයුතු (හෙට) 28 දින කුරුණෑගල නගර සභා පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

කුරුණෑගල – රවිඳු සූරියබණ්ඩාර