ලස්සන අරගලයක්

0
12

මැදියම් රැයේ තීන්ත බාල්දියක් සහ ලොකු පින්සලක් ගත් ‘ගරිල්ලා මිනිසෙක්’ හිටිගමන් මතුව ක්‍ෂණික සිතුවමක් තාප්පයක හැඳ පලා යෑම මීට කලකට පෙර බි්‍රතාන්‍යයෙන් ඔබ්බට යුරෝපය පුරාම මහත් කතාබහකට ලක්වූ සිදුවීමක් වුණා.

පාලකයන්ගේ ඇතැම් ක්‍රියාකාරකම්වලට එරෙහිව එල්ලවූ සාහසික කුළුගෙඩි පහරවල් බවට ඒ යම් යම් සිතුවම් පත් වුණා.

බි්‍රතාන්‍යයෙන් ආරම්භ වූ තාප්ප පුරා අඳින ලද ‘ගරිල්ලා සිතුවම්’ රැල්ල යුරෝපයෙන් ඔබ්බට ගාසා තීරයද ආක්‍රමණය කරනු ලැබුවා. ලෝකයේ විශාලතම එළිමහන් සිර කඳවුර සේ සැලකෙන ගාසා තීරයටම ගොස් සිතුවම් ඇඳි මේ අපූරු ගරිල්ලා නිර්මාණකරුවා අවි නොදරා අපූරු ක්‍රමයකට අසාධාරණයට එරෙහිව සටන් කළා.

ඔහු, බැන්ක්සි. බි්‍රතාන්‍යයේ සුප්‍රකට වීදි කලාකරුවෙක්, දේශපාලන ක්‍රියාධරයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සේම චිත්‍ර ශිල්පියෙක්. සන්නද්ධ අවි වෙනුවට ඔහු අතේ තිබුණේ පින්සලයි තීන්ත බාල්දියයි. ස්ටෙන්සිල් තාක්ෂණයක් ඔස්සේ ලොවපුරා නගරවල වීදි, තාප්ප සහ පාලම්වල ප්‍රදර්ශනය කරනු ලැබුවා. 

ඔහුගේ කලාව අමුතු එකක්. ස්වකීය සිතුවම් කලාව ප් නැඟූ විසල් මීසයක් මත මටසිලිටි පින්සලයකින් කරනු ලැබූ ‘විවේකී නිර්මාණ’ නොවේ. එය කොතැනකින් හෝ එල්ල වන්නට නියමිත රෙජිම් ප්‍රහාරයකට හොරා කඩිමුඩියේ කළ පෙළහරක්.

මිනිස්සු තමන්ගේ විරෝධතාව බොහොම නිර්මාණශීලී විදිහට පළ කරන්නේ එහෙම. ආයුධවලින් කරන ලද සන්නද්ධ අරගල නිසා ලෝකයේ ජීවිත බිලියන ගණනක් විනාශ වෙලා තියෙනවා. නමුත් ඒවායින් ලද ජයග්‍රහණ ඉතාම අල්පයි. නූතන ලෝකය සන්නද්ධ අරගලවලට මෙහා මහා අපූරු නිර්මාණශීලී විරෝධතා තියෙනවා. ඒ විරෝධතාවල පාරත් දරාගන්නට නොහැකිව පාලකයෝ සහ ආණ්ඩු පෙරළිලා තියෙනවා.

ඔවුහු හොරකම් කළහ, ඔවුහු හොරකම් කරති, ඔවුහු අනාගතයේද හොරකම් කරන්නෝය. (They robbed, they rob and they will rob)

සර්ග් සාර්ගියාන්, 2008දී ආර්මේනියාවේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව වෙනස් කරලා බලය තහවුරු කර ගන්න කටයුතු කළා. ඇත්තටම ඒ වෙනකොටත් ඔහුගේ පාලනය යටතේ ආර්මේනියාව ඉතාම දුක්ඛිත තැනකට වැටිලා තිබුණා.

උඩින් අපි මතක් කරපු සටන් පාඨය ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පුරා විසිරෙන්නට පටන් ගත්තේ ඔය අතරේ.

ඒකාධිපතියකු ලෙස කටයුතු කරන ආර්මේනියානු ජනාධිපතිවරයාට එරෙහිව ආර්මේනියානු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මෙන්ම මාධ්‍යවේදියෙක්ද වූ නිකොල් පශින්යන් ඒ සමාජ මාධ්‍ය අරගලය අරඹනවා. ෆේස්බුක් භාවිත කරමින් ක්‍රියාත්මක වුණු එම අරගලය වටා මිලියන ගණනින් ජනතාව එක් වන අතර ජනාධිපතිවරයාට ධුරයෙන් සමුගන්නට සිදුවෙනවා. පාගමන් මෙන්ම සිවිල් නීති කඩ කිරීමේ විරෝධතාද එහිදී සිදුවුණා.

අවසානයේ 2018 දෙසැම්බර් මස නව මහ මැතිවරණයක් පවත්වන අතර විරෝධතාවලට මුල්වූ නිකොල්ගේ පක්ෂය ආසන 101න් ආසන 80ක් පමණ ජයගන්නවා. ඉන් පසුව නිකොල් අගමැති ධුරයට පත් වෙනවා.

 හොංකොං පාලනයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ අනවශ්‍ය බලපෑම් හා ඇඟිලි ගැසීම්වලට එරෙහිව 2014 වසරේදී විරෝධතා රැල්ලක් ආරම්භ වුණු අතර එය හැඳින්වුණේ කුඩ විප්ලවය නමින්. ඒ සඳහා මූලිකත්වය ගන්නේ හොංකොංහි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක්. පසුව එම විරෝධයට විපක්ෂයේ පක්ෂ, මානව හිමිකම් සංවිධාන ඇතුළු මිලියනයකට අධික විශාල පිරිසක් එක්වූණා. විරෝධතාකරුවන් නිතර කුඩයක් අත තබාගෙන සිටි නිසයි ඒ නම ලැබුණේ.

ඇත්තටම මේ වර්ගයේ විරෝධතා දිහා බැලුවම අපිට දකින්න ලැබෙන ආසන්නම විරෝධතාව ලංකාවේ සිදුවුණු විරෝධතාව කියලා හ¾දුන්වන්න පුළුවන්.

ගෝල්ෆේස්වලින් ආරම්භ වෙච්ච මේ බරපතළ අරගලය රටක බලගතු ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් වෙනස් කරන්න සමත් වුණා.

සාමාන්‍යයෙන් ඕනෑම රටක දේශපාලනය කරන උදවිය කිසිම වෙලාවක බලය අතහැරලා යන්නේ නැහැ. බලය ලබාගන්න හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ බලය පවත්වාගෙන යන්න. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරන්න ඒ අය කොන්දේසි විරහිතව කටයුතු කරනවා.

එහෙම තත්ත්වයක් තුළ අපේ රටේ තරුණ පරම්පරාව මුල්කරගත් අරගලයක් දියත් වුණා. මහජන නැඟිටීම්වලට නව අරුතක් දෙන්න ඔවුන්ට පුළුවන් වුණා.

ඕනෑම අරගලයක අඩුපාඩු තියෙන්න පුළුවන්. අඩුපාඩු වෙන්නත් පුළුවන්. නමුත්, එයින් ඒ අරගලයේ උදාර අපේක්ෂාවන් ගිලිහෙන්නේ නෑ. “ධෛර්යය යනු බිය නොමැතිකම නොවේ. එය ඉක්මවා යෑමට අන් අයට එය පොලඹවයි” යනුවෙන් කතාවක් තිබෙනවා.

“ආරම්භයේදී අප සතුව ජාතියකට තිබිය යුතු මූලික සාධක වූ ස්වකීය ජනගහනයක්, පොදු භාෂාවක්, පොදු සංස්කෘතියක්, පොදු ඉරණමක් මේ කිසිවක් අප සතු නොවීය. අප හුදෙක් දකුණු චීනයෙන්, දකුණු ඉන්දියාවෙන්, පාකිස්තානයෙන්, බංග්ලාදේශයෙන් එය බෙදීමට පෙර ලංකාවෙන් සහ දූපත් සමූහයකින් පැමිණි සංක්‍රමණිකයන් විය. එබැවින් ප්‍රධාන ගැටලුව වූයේ මේ සියලුම ජාතීන්ට අයත් මිනිසුන් එකට තැබිය හැකිද යන්නයි.” මෙහෙම කියන්නේ සිංගප්පූරුව හැදූ ලී ක්වාන් යූ.

රටක් හදන්නට පුළුවන් එකට එක්වීමෙන් මිස තුනට බෙදීමෙන් නොවේ කියා ලී ඔප්පු කළා. හැමෝම සිංගප්පූරු ජාතිකයෝ කියන හැඟීම මිනිස්සුන්ට ආරෝපණය කරන ඔහු සිංගප්පූරුවේ විවිධ ජනවර්ග සිංගප්පූරු ජාතික අනන්‍යතාව ඔස්සේ එක් කිරීමට ඔහු උනන්දු වුණා. ලොව දිනන රටක් හැදුණේ එහෙමයි. 1948 වෙනකොට ආසියාවේ දියුණුම රට ජපානය. දෙවැනි තැනට හිටියේ ශ්‍රී ලංකාව. සිංගප්පූරුව හදන්න මහන්සි වෙච්ච ලී ක්වාන් යූ ලංකාවට ඇවිත් කීවේ “මගේ සිහිනය ලංකාව වගේ සිංගප්පූරුවක් හදන එක කියලා.” එහෙම කී ඔහුම පස්සේ කාලෙක කියන්නේ මේ තරම් අනාගත බලාපොරොත්තු තබා සිටි ලංකාව නිදහසින් පසු කඩා වැටෙන ආකාරය දුටු බව. ඒ ජාති, ආගම්, කුල, මල ලෙස බෙදී වෙන්වීමේ ප්‍රතිඵලය.

දැන් අපේ රට දේශපාලන, ආර්ථික, සමාජ සියලු අංශවලින් කඩාගෙන වැටිලා. අරගලය විසින් කළේ එහෙම කළ පාලනය අවසන් කිරීමට කටයුතු කිරීම. මේ අරගලයට ආවේ විවිධ දේශපාලන මත දැරූ පිරිස්. නමුත් ඔවුන්ට පොදු අරමුණක් තිබ්බා.

දැන් දේශපාලන න්‍යාය පත්‍ර තුළ තම නායකයා දිනනකොට අරගලයට ගැරහීම නම් අනුචිතයි. අවලස්සනයි.