ලංකා බැංකුව මෙවරත් ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට

0
43

‘ජාතියේ මහා පහන්ටැඹ’  ලංකා බැංකුව මෙවරත් ලොව ප්‍රමුඛතම බැංකු 1000 අතර ශ්‍රී  ලාංකේය අංක 1 ස්ථානය නැවතත් තහවුරු කර ගැනීමට සමත් වී ඇත. පසුගිය වසරේදී මෙම ශේ්‍රණිගත කිරීමෙහි 853වැනි  ස්ථානය ලබා සිටි ලංකා බැංකුව, ස්ථාන 53කින් පෙරට එමින් මෙම වසරේදී 800 වැනි ස්ථානය දක්වා උසස් වී තිබීම විශේෂත්වයකි.

ලොව පුරා ප්‍රමුඛ පෙළේ බැංකු 5,000කට අධික සංඛ්‍යාවක දත්ත පරිශීලනය කරමින්, වාර්ෂිකව සම්පාදනය කෙරෙන The Banker සඟරාවේ ශේ්‍රණිගත කිරීමට අනුව ලොව හොඳම බැංකු 1,000 අතරට නම් වීම ගෝලීය වශයෙන් යම් බැංකුවක ස්ථාවරත්වය තහවුරු කරන බව පිළිගැනෙන කරුණකි.

ගෝලීය වසංගත හා ආර්ථික අවපාත මධ්‍යයේ ලොව පුරා ඇති මූල්‍ය ආයතන දැඩි ලෙස පීඩාවට පත්වී පත් වී ඇති මොහොතක පවා, වත්කම් පදනම වර්ධනය කර ගනිමින් මෙවන් ජයග්‍රහණයක් ලබා ගැනීම ලංකා බැංකුවේ මූල්‍ය, ස්ථාවරත්වය සහ මනා කළමනාකාරිත්වයේ සාර්ථකත්වය පිළිබිඹු කරයි.

“අභියෝගාත්මක කාලවකවානුවක පවා නොසැලී, මූල්‍යමය වශයෙන් ලබාගෙන ඇති ප්‍රගතිය මඟින් ලංකා බැංකුව ශ්‍රී  ලාංකේය බැංකුකරණයේ  ප්‍රමුඛයා බවට නැවතත් තහවුරු කර තිබෙනවා. ගෝලීයමය වශයෙන් ඇගයීමට පාත්‍රවීම සහ මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වීම ඉහත කරුණ යළි යළිත් සනාථ කරනවා. ඒ පිළිබඳව අප නිහතමානීව ආඩම්බර වන බව මා මේ අවස්ථාවේදී පැවැසීමට කැමැතියි.” යනුවෙන් මෙහි දී අදහස් දැක්වූ ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා පැවැසුවේය.

එමෙන්ම රුපියල් ටි්‍රලියන 4 ඉක්මවන වත්කම් පදනමකින් සහ රුපියල් ටි්‍රලියන 3කට වැඩි තැන්පතු පදනමකින් යුත් මෙරට පළමු දේශීය බැංකුව වන්නේද ලංකා බැංකුවයි.

මෙම ජයග්‍රහණය සඳහා ලංකා බැංකුව සතු විශ්වාසවන්ත පාරිභෝගික පදනමේ දායකත්වය අවධාරණය කරමින්, ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ.ඊ.ඩී. සුමනසිරි මහතා මෙසේ පැවැසීය. “දශක අටකට වැඩි ඉතිහාසය තුළ ලංකා බැංකුවේ අඛණ්ඩ සාර්ථකත්වයට බෙහෙවින් ශක්තියක් වුණේ අපගේ විශ්වාසවන්ත දෙස් විදෙස් ගනුදෙනුකාර භවතුන් බව පැවැසීමට කැමැතියි. ඒ නිසාම මේ රටේ ප්‍රමුඛතම මුල්‍ය සේවා සපයන්නා බවට පත්වීමට අපට හැකියාව ලැබී තිබෙනවා. දශක ගණනාවක් පුරා ඔවුන් අප කෙරෙහි තැබූ අසීමිත විශ්වාසයට කෘතවේදීත්වය ප්‍රකාශ කිරීමටම මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ඉදිරියේදීත් නව්‍යකරණය වූ මූල්‍ය සේවාවන් ලබා දෙමින් මේ රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වන බවට මා මෙහිලා සඳහන් කිරීමට කැමතියි.

විදේශ රටවල ක්‍රියාත්මක බැංකු ශාඛා 5ට අමතරව මුළු දිවයිනම ආවරණය වන පරිදි පිහිටා ඇති පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 2,000කට අධික ප්‍රමාණයක් සමඟින්, ලංකා බැංකුව සමඟ මාර්ගගතව සම්බන්ධ වූ ශාඛා 645කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර, දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් පිහිටා ඇති ලංකා බැංකුවේ ATM/CDM/CRM ජාලය 1350කට අධිකය.

මෙරට ප්‍රමුඛතම දේශීය බැංකුව ලෙස, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්‍ෂේත්‍රය පෝෂණය කිරීමට සහ රටේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අරමුදල් සැපයීමට ක්‍රියා කරන ලංකා බැංකුව සමස්ත ශ්‍රී  ලාංකේය ජාතිය ශක්තිමත්ව ගොඩනැංවීමේ සිය වගකීම අඛණ්ඩව ඉටුකිරීමට කැප වී සිටියි.