රූපවාහිනියට පැන්න අරගලකරුවා රටින් පනිද්දී අල්ලයි

0
118

රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් සහ අධිකරණයෙන් නිකුත් කොට තිබූ වරෙන්තුවකට අදාළව අත්අඩංගුවට ගැනීමට සිටි ගාලුමුව‍ෙදාර අරගලකරුවකු කටුනායක ගුවන්තොටුපළෙන් විදෙස්ගත වීමට ගුවන් යානයකට ගොඩ වී සිටියදී ඊයේ (26දා) අත්අඩංගුවට ගෙන ඇත.

ධනීස් අලි නැමැති අයකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථාන ඉහළ නිලධාරියකු ‘මව්බිම’ කළ විමසුමකදී පැවැසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහාය මත විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද එම නිලධාරියා සඳහන් කළේය.

ශ්‍රී  ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඩුබායි රාජ්‍ය බලා යෑමට සිටි බව පැවැසෙන මොහු, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට දැඩි විරෝධයක් පළකොට ඇති බවද සඳහන් වේ. එම අවස්ථාවේ යානය තුළ උණුසුම්කාරී තත්ත්වයක් පවා නිර්මාණය වී ඇති බව සඳහන්ය.

මීට පෙර මුදල් අමාත්‍යාංශයේ ඇති වූ කලහකාරී ක්‍රියාවකට මොහුට එරෙහිව ඉකුත් 22 වැනි දින කොටුව මහෙස්ත්‍රා‍ත් අධිකරණය මඟින් වරෙන්තු නියම වී ඇති බවත් එසේම ඉකුත් 13 වැනිදා රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වීමට අදාළවද මොහුව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි බවද එම නිලධාරියා සඳහන් කළේය.

මෙම චෝදනාවන්ට අදාළව මෙම තැනැත්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පවසයි.

චාමර අමරසූරිය