බදුල්ල පෞද්ගලික බස් හිමියෝ උද්ඝෝෂණයක

0
61

තම බස් රථ ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට රජය මඟින් නිසි වැඩපිළිවෙළක් සකසා නොදීම නිසා මේ වනවිට බස් කර්මාන්තය කඩා වැටී තම දරු පවුල් පවා අසරණ තත්ත්වයට පත්ව ඇති බැවින් ඒ සඳහා සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් බදුල්ල පෞද්ගලික බස් රථ හිමියෝ ඊයේ (26දා) දින උෟව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

මෙහිදී ඔවුන් පවසා සිටියේ මේ වනවිට තම සංගමයට අයත් සමහර බස් රථ ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන හල් ආසන්නයේ මසකට අධික කාලයක් ගාල් කර තිබුණද මේ වනතෙක් ඉන්ධන ලබා ගැනීමට නොහැකිවී ඇති බව සහ බදුල්ල ශ්‍රී ලංගම ඩිපෝවෙන් වෙනත් අයවලුන් සඳහා ඉන්ධන නිකුත් කළත් තම බස් රථවලට ඉන්ධන ලබාදීම ප්‍රතික්‍ෂේප කරන බවයි.

බදුල්ල ප්‍රදේශයේ ඉන්ධන සඳහා කළු කඩ මාෆියාවක් ක්‍රියාත්මක වන අතර විවිධාකාරයෙන් ලබාගන්නා ඉන්ධන ලීටරයක් රුපියල් 1500ක් වැනි ඉහළ මිලකට විකිණීම සිදුකරන බවත් පවසන පෞද්ගලික බස් හිමියෝ මෙම තත්ත්වය මත තම දරු පවුල් මෙන්ම මගීන්ද විශාල පීඩනයකට පත්ව ඇති බව කියති.

බස් රථ සඳහා මාසිකව ගෙවිය යුතු ලීසිං වාරිකය පවා ගෙවා ගැනීමට නොහැකිවී ඇති බැවින් බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුකර මේ සඳහා නිසි වැඩපිළිවෙළක් සකසා දෙනමෙන් ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන