‘පාසල් සේවා’ නමින් පෞද්ගලික බස් සේවයක් අගෝ. 01දා ඇරැඹේ

0
171

‘පාසල් සේවාව’ නමින් නව පෞද්ගලික බස් රථ සේවාවක් අගෝස්තු 01 වැනිදා සිට ආරම්භ වන අතර බස් නාම පුවරුවල අදාළ පාසල් නාමයන් සඳහන් කරමින් දෛනික ගමන්වාර දෙකක් මෙම බස් රථ ධාවනයට යොදවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරයි.

පෞද්ගලික බස් රථ ධාවකයන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මෙම බස් රථ ලබා දීමට එකඟ වී ඇති අතර ඒ අනුව, ගුරු සිසු දෙපිරිසටම මුදල් ගෙවා අපහසුවකින් තොරව මෙම ප්‍රවාහන සේවය සලසාගත හැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.

දරුවන්ට අපහසුවකින් තොරව පාසල් පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් විධිමත්ව සැපැයීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, ලංකා පෞද්ගලික බස් රථ ධාවකයන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න, ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකරු එස්. එම්. සී. පී. සමරකෝන් සහ සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (26දා) පැවැති සාකච්ඡාවේදී මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම පාසල් වෑන් හා බස් රථ සඳහා ආසන්නම ඩිපෝ මඟින් අවහිරයකින් තොරව නියමිත ක්‍රමවේදයකට අනුව ඉන්ධන ලබා දීමටත්, ඊට අවශ්‍ය පහසුකම් සැපැයීමටත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ගමනාගමන මණ්ඩලය එකඟතාව පළ කර ඇත.

ඒ අනුව සතියට දින දෙකක් (බදාදා සහ සෙනසුරාදා) ඩිපෝ මඟින් අවශ්‍ය ප්‍රමාණයට නිසි කළමනාකරණයක් යටතේ ඉන්ධන නිකුත් කෙරෙනු ඇත.

අවහිරයකින් තොරව ඉන්ධන ලබාදීමට සකස් කළ නව වැඩපිළිවෙළ බස් රථ සංගම්වල පැසසුමට ලක්වූ අතර එයට සියලු දෙනාගේ සහයෝගය ලබාදීමටද මෙහිදී එකඟතාව පළව ඇත.

සඳුනි ගමාරච්චි