පානදුර ප්‍රා. සභා සේවකයන් දෙදෙනකු කසළ ලොරියෙන් ඩීසල් ඇදලා

0
16

පානදුර ප්‍රාදේශීය සභාවේ වාද්දුව ප්‍රධාන කාර්යාලයේ කසළ ප්‍රවාහනය කරන ලොරි රථයෙන් ඩීසල් සොරකම් කළ සේවකයන් දෙදෙනකුගෙන් ඩීසල් ලීටර් 20ක් සමඟ එක් අයකු වාද්දුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. පානදුර ප්‍රාදේශීය සභාවේ ජේ. සී. බී. යන්ත්‍රයේ සහායක ලෙසින් රාජකාරි කරන සේවකයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

ඉකුත් 24 වැනිදා රාත්‍රි වාහන අංගණයේ ගාල් කර තිබූ කසළ ප්‍රවාහනය කරන ලොරි රථයෙන් ඩීසල් සොරකම් කරගෙන යන බවට වාද්දුව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු එක් අයකු එසේ අත්අඩංගුවට ගෙන සඟවා තිබූ ඩීසල් ලීටර 20 සොයාගත් බව පොලිසිය කීය.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු වන එම සභාවේ පුස්තකාල සහායක නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. පසුගිය දින කිහිපය පුරාවට කසළ ප්‍රවාහනය කිරීමට ඉන්ධන නොමැතිව පානදුර ප්‍රාදේශීය සභාව දැඩි අපහසුතාවට ලක්ව සිටි බවද එහි උසස් නිලධාරියකු කීය.

සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර පානදුර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණ පවත්වයි

පොතුපිටිය – සුමිත් රණවක