දෙයියන්දරින් ඇසෙන අලුත් සිරිසඟබෝ කතාවක්

0
15

දෙයියන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ හිස කපාගෙන ආවොත් ලක්‍ෂ 35ක් දෙන බවට දෙයියන්දර හිටපු මහෙස්ත්‍රාත්වරිය කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධ නඩුව විභාග කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් පත් කර ඇති මහෙස්ත්‍රාත්වරයා නොපැමිණීම හේතුවෙන් දෙයියන්දර මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අනුරුද්ධිකා දිසානායක මහත්මිය ඉදිරියේ පෙරේදා (25දා) නඩුව විභාගයට ගනු ලැබීය.

හිටපු මහෙස්ත්‍රාත්වරිය තම ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරියාට මේ බව පවසා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධව දෙයියන්දර පොලිසියේ ස්ථානාධිපති සුදේශ් නාලක විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම නඩුව විභාග වේ. චූදිත විනිසුරුවරිය මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී නොසිටි අතර පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අකුරැස්ස පොලිසියේ පො.සැ. සුනන්ද (64454) මහතා අධිකරණයට කරුණු දක්වමින් හිටපු මහෙස්ත්‍රාත්වරියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඇති බවත් අධිකරණ සේවා කොමිෂන් සභාවටද ඒ බව දන්වා ඇති බවටත් ප්‍රකාශයක් සටහන් කරගෙන වැඩිදුර වාර්තාවක් ගොනු කිරීමට දිනයක් ලබාදෙන ලෙසට අධිකරණයට දැන්වීය.

පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු පිළිබඳව අවධානය යොමු කළ දෙයියන්දර මහෙස්ත්‍රාත් අනුරුද්ධිකා දිසානායක මහත්මිය 2022.10.03 දිනට නඩුව නැවත කැඳවන බවටත් එදිනට වැඩිදුර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළාය.

ඌරුබොක්ක – අතාවුද පතිරණ