තෙල් බිඳුවට කල් බැලීම

0
67

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්, විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඉදිරි මාස 12 තුළද ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බව සඳහන් කර තිබේ. ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ QR කේතය දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාවට නැංවීමේ කාර්යය එළැඹෙන අගෝස්තු 1දා දක්වා කල්දමා තිබේ. ජනතාව තෙල් පෝලිම්වල නිමාවක් දකින්නට අපේක්‍ෂාවෙන් සිටියද මේ තත්ත්වය යටතේ තවදුරටත් පීඩනය උසුලා දරා සිටින්නට ඔවුනට සිදුවනු නිසැකය.

බලශක්ති අමාත්‍යාංශය තොරතුරු තාක්‍ෂණ නියෝජිතායතනයේ සහාය ඇතිව ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වා දුන්නේ ඉකුත් 16දාය. මුලදී තෝරාගත් ඉන්ධන පිරවුම්හල් සීමිත ප්‍රමාණයක් මුල් කරගෙන පරීක්‍ෂණ නියැදියක් වශයෙන් නව ක්‍රමය ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා එහි සාර්ථකභාවය මත ඉකුත් 21දා සිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් මඟින් එම ක්‍රමය ක්‍රියාවට නැඟීමට නියමිතව තිබිණ. පසුව එම දිනය 25 දා තෙක් කල් දැමූ අතර දැන් යළිත් එය අගෝස්තු 01 දක්වා කල් දැමීම ගැටලු සහගතය. ගැටලුව නව ක්‍රමවේදයේ පවත්නා දෝෂයක් නොව අවශ්‍ය ප්‍රමාණයට බෙදාහැරීම සඳහා ඉන්ධන ප්‍රමාණවත් නොවීම බව පැහැදිලිය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙහි දැනට පවතින ඉන්ධන ප්‍රමාණය වුවද අඩු තරමින් මසකටවත් ප්‍රමාණවත් නොවන බව කියයි. එහෙත් ගෙවීගිය දෙසතිය තුළ පිට පිටම ඉන්ධන නෞකා පහක් අප රටට පැමිණි බව රහසක් නොවේ. ජනතාව මහත් ආහ්ලාදයෙන් යුතුව පෝලිම්වල එක්රොක් වී රිසි පරිදි තෙල් ටික ලබා ගන්නට පුල පුලා බලා සිටියද වැඩි පිරිසකට බලාපොරොත්තු කඩකර ගන්නට සිදුවුණු බව වාර්තා වෙයි. ගතවූ දින කිහිපයෙහි ප්‍රදේශ කිහිපයකම ඉන්ධන පිරවුම්හල්වල විවිධාකාර ගැටුම්ය. පෝලිම්වල ආතතියට හා පීඩනයට මුහුණ දෙමින් රෝගාතුර වූවන්ගේ මරණද වාර්තා වෙමින් තිබිණ. මේ සටහන ලියන මොහොතේ තෙල් පෝලිමේ විසිපස් වැනි මරණය වාර්තා වී තිබිණි. ඒ, කලකෝලාහලවලින් ලද තුවාලවීම් පිළිබඳ වාර්තාවලට අමතරවය.

තෙල් අර්බුදයට ප්‍රමුඛ හේතුව අවශ්‍ය තරම් තෙල් මිලදී ගැනීමට රජය සතුව ඩොලර් නොතිබීමය. අර්බුදය විසඳීමට විකල්ප යෝජනාවක් ලෙස ඉන්ධන ආනයනය පෞද්ගලීකරණයට ලක්කිරීමේ යෝජනා ඉදිරිපත්ව තිබුණද ඒ සම්බන්ධවද ගැටලු රැසක් මතුව තිබිණි. තෙල් නැව් පහක් පිට පිටම ආවත් තවමත් තෙල් පෝලිම් අඩු නොවූයේ ඇයි? ගෙනා තෙල්වලට මොකද වුණේ. ඒවා විධිමත්ව බෙදාහැර තිබේද? අත්‍යවශ්‍ය සේවා සඳහා තෙල් සැපයීම ගැටලු සහගත වුණේ ඇයි? මෙබඳු ප්‍රශ්න මාලාවකි. එහෙත් පිළිතුරු සෙවීම හෝ හේතු සාධක සෙවීම අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි.

ඉන්ධන ගැටලු රැසක් අධිකරණයටද ඉදිරිපත්ව තිබේ. මේවා පෙර සිදු නොවූ දේවල්ය. ඉන්ධන රැස් කිරීම සම්බන්ධව නව නීතිරීති සැකසිය යුතු තත්ත්වයක් උදාවී ඇති සෙයකි. රට දැන් බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණදී සිටී. මෙවැනි මොහොතක ඇති හැකි අය, වරප්‍රසාද හිමි අය තමන්ගේ පැත්තට වැඩිපුර බෙදා ගන්නට ගියොත් සිදුවන්නේ සාධාරණය – යුක්තිය වල් වැදීමය.

මේ දිනවල දිනකට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය පෙට්රල් මෙටි්‍රක් ටොන් 3000ක් හා ඩීසල් මෙටි්‍රක් ටොන් 4000ක් තරම් ප්‍රමාණයකි. එයිනුත් යම් ප්‍රමාණයක් කර්මාන්තශාලා හා අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදුන් විට ඉන්ධන පිරවුම්හල් සඳහා ඉතිරි වන්නේ සුළු ප්‍රමාණයකි. එහිදී ඇතැම් පිරවුම්හල්වලට ඉන්ධන ලැබෙන්නේම නැත. සිපෙට්කෝ සහ IOC වශයෙන් නම් කොට තිබෙන ඉන්ධන පිරවුම්හල් 1300ක් අප රටේ ඇත. පසුගිය කාලය තුළ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලැබුණේම නැත. අත්‍යවශ්‍ය සේවා සඳහාද ඉන්ධන සැපයීම සීමා තිබිණි. සීමිත තෙල් ප්‍රමාණයක් ලැබුණු විට අනපේක්‍ෂිත ගැටලු රැසකි. අප රටට අවශ්‍ය තරම් ඉන්ධන ගෙන්වා ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි? ප්‍රශ්නය සරලය. ගැටලුව ඩොලර්ය. විසඳුම ඩොලර් උපයා ගැනීමය. දුෂ්කර වී ඇත්තේ එයයි.

ඉන්දියාව දැනටමත් අප රටට ඩොලර් බිලියන 3.8ක ණය සහනාධාර ලබාදී තිබේ. චීනයද යම් යම් සහනාධාර ප්‍රදානය කොට ඇති බව කියයි. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ කියන්නේ චීනය සහ ඉන්දියාව තවදුරටත් ණය සහනාධාර දුන්නොත් ගැටලුව යම් තරමකට විසඳා ගත හැකි බවය. IMF ණය පිළිබඳ සාකච්ඡා සිදුවන නමුත් එම සහයෝගය ලැබීමට රටේ දේශපාලන ස්ථාවර භාවය ඉතා වැදගත් බව ඔහු පෙන්වා දෙයි. ආණ්ඩු වෙනස් වී ඇතත් තවමත් මේ රටේ පැහැදිලි දේශපාලන ස්ථාවරයක් නැති බව නන්දලාල්ගේ අදහසය. මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියන්නේ ශ්‍රී  ලංකාව සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන කොන්දේසි ඉතා බැරෑරුම් හා වේදනාකාරී වනු ඇති බවය. ඉන්ද්‍රජිත් අනතුරු අඟවා ඇත්තේ ඉදිරි කාලය තුළ වඩාත් තීව්‍ර විය හැකි අර්බුද මාලාවට විසඳුම් සෙවීමේදී ජනතාවට මුහුණ දෙන්නට සිදුවිය හැකි පීඩාකාරී තත්ත්වය ගැනය.

රටක් නිද්‍රාවෙන් නැඟිටුවන්නට ආහාර, ඔෟෂධ මෙන්ම ඉන්ධනද අත්‍යවශ්‍යය. ඒවා නිසි කලට නිසි පරිදි සම්පාදනය කරලීමට අසමත් වන ආණ්ඩු අනපේක්‍ෂිත ආකාරයට බිඳ වැටෙනු ඇත. සිදුවිය යුත්තේ අර්බුදවලට හේතු සාධක ඉදිරිපත් කිරීම නොවේ. විසඳුම් සෙවීමය. ඒවා කඩිනමින් ක්‍රියාවට නැඟීමයි. රට දේශපාලනික වශයෙන් ස්ථාවරවීම මුලින්ම අත්‍යවශ්‍යය. සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව ඒ සඳහා යම් ප්‍රවේශයක් විය හැකිය. මැතිවරණ දෙවනුවය. සියල්ලට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් ගොඩනැංවීම සඳහා වූ සශි්‍රක භූමියක් රට තුළ නිර්මාණය විය යුතුය. ඊට බාධා ඇතිකළ ඉන්ධන අර්බුදය කඩිනමින් විස¼දාගත යුතුව ඇත්තේ ඒ නිසාය.