ත්‍රීවීල් ලියාපදිංචිය පොලිසියේ මැදිහත්වීමෙන්

0
36

ඉන්ධන බෙදාහැරීම ක්‍රමවත් කිරීම සඳහා සෑම පොලිස් වසමකම ධාවනය වන ත්‍රිරෝද රථ එම පොලිස් වසම තුළ ලියාපදිංචි කිරීමට පොලිස්දෙ පාර්තමේන්තුව කටයුතු යොදා ඇත. ඒ අනුව සෑම පොලිස් බල ප්‍රදේශයකම ඇති ත්‍රිරෝද රථ එක් එක් ඉන්ධන පිරවුම්හල් වෙත අනුයුක්ත කරමින් ලැයිස්තුවක් පිළියෙල කරන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර තිබේ.

එමෙන්ම ඉදිරි දිනයකදී එක් එක් පොලිස් වසමට අයත් එම ලැයිස්තු ඉදිරිපත් කිරීමට කොට්ඨාස භාර නිලධාරීන් සූදානමින් සිටිය යුතු බවටද පොලිස්පතිවරයා දන්වා තිබේ. පොලිස්පතිවරයා දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට මෙසේ නියෝගයක් ලබාදී ඇත්තේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඒ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවය.

ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලියේදී ත්‍රිරෝද රථවලට ඉන්ධන ලබා ගැනීමේදී නොයකුත් වංචනික කටයුතු සහ දුෂ්කරතා ඇතිවන බවට ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් සහ මහජනතාවගෙන් පැමිණිලි ලැබී ඇති බැවින් ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම සඳහා එක් එක් ත්‍රිරෝද රථය ඉන්ධන පිරවුම්හල්වලට අනුයුක්ත කර එය ලියාපදිංචි කර සතියක කෝටාවක් ලබාදීමට අවධානය යොමුවී ඇති බවට විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා පොලිස්පතිවරයාට දැනුම්දී තිබේ.

කීර්ති මෙන්ඩිස්