තම්මිට අනතුරින් මියගිය දෙදෙනා ගැන වැඩිදුරටත් පොලිස් පරීක්‍ෂණ

0
16

බඩල්ගම – මරදගහමුල ප්‍රධාන මාර්ගයේ තම්මිට ප්‍රදේශයේදී වෑන් රථයක යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනාගේ මරණය මිනීමැරුමක්ද යන්න සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන බව බඩල්ගම පොලිසිය මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය ඉදිරියේ පෙරේදා (25දා) කරුණු ඉදිරිපත් කළේය.

අධිකරණය හමුවේ එදින එම නඩුව කැඳවූ අතර රිමාන්ඩ් භාරයේ පසුවන සැකකාර වෑන් රථ රියැදුරු අගෝස්තු 6 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කෙරුණි.

ඉකුත් 10 වැනිදා දහවල් සිදුවූ එම අනතුරින් තම්මිට පදිංචි චින්තක පුෂ්පකුමාර සහ හුණුමුල්ලේ පදිංචි පී. ඒ. අසිත රංගන යන දෙදෙනා මියගොස් තිබූ බවට අධිකරණයේදී සඳහන් විය.  අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ රියැදුරු බීමත්ව සිටි බවට වෛද්‍ය පරීක්‍ෂණයෙන් අනාවරණය වී ඇති බවටද පොලිසිය අධිකරණය හමුවේ කීය.

පොලිස් කණ්ඩායම් විසින් අනතුර සිදුවූ ස්ථානය අවට ආරක්‍ෂිත කැමරා පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව අනතුර වීමට පැය කිහිපයකට කලින් වෑන් රිය මියගිය අයගේ නිවෙස ආසන්නයට පැමිණ කිසියම් අයකු බස්සවා ගොස් ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. එම පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවද මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවැසීය. කෙසේ වුවද පරීක්‍ෂණ කඩිනම් කර ඒ සම්බන්ධව වාර්තාවක් අගෝස්තු 6 වැනිදාට ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් පොලිසියට නියම කෙරුණි.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරල