ජනතා අපේක්ෂාව පික්පොකට් ගැසූ රනිල් එළවා දමමු

0
21

“මිනිසුන්ගේ අපේක්ෂාව “පිට්පොකට්” ගැසූ රනිල් රාජපක්ෂ ආණ්ඩුව එළවීමේ සටන අඛණ්ඩව ක්‍රියාත්මක වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සාමාජික වසන්ත සමරසිංහ අවධාරණය කළේය.

සමරසිංහ මහතා පැවසුවේ මෙම ජනාධිපති ධුරයට රනිල්  වික්‍රමසිංහ මහතා  පත් වූයේ ඔහුගේ තනි උනන්දුවට පමණක් නොවන බවත් රාජපක්ෂ කඳවුරේ ප්‍රබල වුවමනාවකට බැවින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මෙම පාලනය තනිව ගෙනයා නොහැකි බවත්ය.

ඒ නිසා  “රනිල් රාජපක්ෂ” පාලනය එළවීමට අවශ්‍ය සටන් පාඨ  සකසා නිම කරන බවත් සියලුම වෘත්තීය සමිති, වෘත්තිකයන්, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන ක්‍රියාකාරිකයන්, ආගමික නායකයන්, මාධ්‍යවේදීන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වා මෙම අරගලය නව වටයකින් ශක්තිමත් කර ආරම්භ කරන බවද වසන්ත සමරසිංහ මහතා පැවැසීය.

 විශේෂයෙන්ම පාර්ලිමේන්තුව වහාම විසුරුවා ජන මතයට ඉඩ දීමට කටයුතු සැලැස්වීම මේ මොහොතේ  ප්‍රධානම අරමුණ බවත් මෙම විකෘති පාලනයට යෑමට තවදුරටත් ඉඩ නොදිය යුතු බවත් සමරසිංහ මහතා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.

“අපි මේ එළැඹ සිටින මොහොත ගැන අපි හැමෝටම අලුතින් හිතන්න වෙලා. අපි කළ හා කරන්න තියෙන වැඩ ගැන කතා කරන්න කියලා මුළු සමාජයම බලකරනවා. පහුගිය වසරක කාලයක් තුළ සමාජය තුළ තිබූ ආර්ථික පීඩනය ගැන පළල් සංවාදයක් අපි සිදුකළා.

රාජපක්ෂලාගේ පවුල් පාලනය අසාර්ථක බවත් රට බරපතළ ආර්ථික අගාධයකට තල්ලුවීම ගැනත් ගෝඨාභය රාජපක්ෂගේ අසාර්ථක කාබනික පොහොර වැඩපිළිවෙළ, විදේශීය විනිමය ප්‍රශ්නය නිසා රටේ සංචිත පතුලටම හිඳීම ආදී සංවාද ගොඩක් අපි සාකච්ඡා කළා. පසුගිය මාස 4ක කාලය තුළම ගෝල්ෆේස් අරගල භූමිය හා රටේ නගර හැම තැනකම මතුවූ අරගල ක්‍රියාත්මක වුණා. අපිත් ජනතාව දැනුවත් කළා. උද්ඝෝෂණ කළා. හැම මොහොතකම අපි සියලු නායකත්වයට අවශ්‍ය සහාය දුන්නා.

ජාතික ජන බලවේගය රට හදන වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා රාජපක්ෂලා කැමැති විධියට. දැන් කට්ටිය හිතන් ඉන්නේ මේ පාලනයෙන් ඉදිරියට යන්න  පුළුවන් කියලා. ඒ අයගේ වැඩේ ඉවරයි කියලා හිතනවා. රටේ මිනිස්සු සාමාන්‍ය සාමකාමී තත්ත්වයට පත්වෙලා කියලා හිතනවා.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ සාමකාමී  අරගලවලට සහාය දෙන බව තානාපතිවරුන් හමුවේ ප්‍රකාශ කළා. හැබැයි ජනාධිපති ධුරය භාර ගෙන පැය විසිහතරක් යන්නට මත්තෙන් රනිල් උද්ඝෝෂණ මැඬලා වැඩ පටන් ගත්තා. මෙතැනින් එහාට විකෘති දේශපාලන තත්ත්වයක් වෙනුවට ජනතාව අපේක්ෂා කරන සැබෑ දේශපාලනය ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළක් අපිට අවශ්‍යව තිබෙනවා. රාජපක්ෂලා එදා රටේ සම්පත් විකුණන්න හදද්දි අරගලකරුවන් ඒ හැම එකකටම විරුද්ධව පෙරට ආවා. විරුද්ධව අරගල කරා. සටන් දිනුවා.

 දැන් පාසල් පටන්ගෙන. හැබැයි රාජ්‍ය සේවකයෝ ගෙදර. ප්‍රවාහන අර්බුදය තවම එහෙමමයි. ෂෙඩ් ළඟ වාහන පෝලිම්. වැඩකරන ජනතාව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුළු සියලු සේවකයන් බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීලා. ජුනි මාසයේ ජීවන වියදම 58%කින් වැඩි වෙලා. මේ මාසය ඉවර වෙනකොට ඒක 70% පනියි කියලා ගණනය කරලා තිබෙනවා. දැන් ජනතාව පඩි වැඩි කරන්න කියන අරගලයක නැහැ. මේ ආණ්ඩුවට එරෙහිව තමයි අරගලය තිබෙන්නේ. සැබෑ ජනමතය ගොඩනඟන වැඩපිළිවෙළට දායකත්වය දෙනවා කියලා අපි සහතික වෙනවා.

 අපි තීරණය කරා සටන අලුත් වටයකින් පටන් ගන්න. ඉදිරි වැඩපිළිවෙළ සකස් කරමින් තිබෙනවා ඒ සඳහා. ඒ වගේම අපි දිගටම කිව්වා සැබෑ ජනවරමක් අවශ්‍යයි කියලා. මේ පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනේ. මේ පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතුව කිසිම දෙයක් කරලා වැඩක් නැහැ. පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතුව  සමහරු එක  එක වල්භූත කතා කිව්වා. ජනවරම තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවීමත් සමඟ. සියලු දිස්ත්‍රික්කවල වෘත්තීය සමිති, දිස්ත්‍රික් සභා අපි ආරම්භ කරනවා. ඒ වගේම සියලු වැඩබිම් පදනම් කරගෙන වෘත්තීය  සමිති නායකයන් සමඟ සාකච්ඡා වටයක් පටන් ගන්නවා.

රට පුරා විහිදුණු අරගලකරුවන්ගේ අභිලාෂය ඉටු කිරීමට අපි බැඳී සිටිනවා. අර්බුදය තවම එහෙමමයි. මේ ක්‍රියාවලිය ජනතාවට භාර ගන්න බැහැ. ජනතාව භාර ගන්නෙත් නෑ. සමාජය දැන් ගල් ගැහිලා බලන් ඉන්නවා. ගෝඨාභය එළවද්දි රනිල්ටත් යන්න කිව්වා. හැබැයි රනිල් කට්ටි පැන පැන ඉඳලා අන්තිමට රාජපක්ෂලා ආරක්ෂා කරන්න දැන් පෙනී සිටිනවා. එම නිසා ජනතාව අපේක්ෂා කළ ඒ අභිලාෂයන් ඉටු කිරීමට සැබෑ ජනමතයක් පාර්ලිමේන්තුවේ නියෝජනය කිරීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි කියලා අපි බලපෑම් කරමු.

අනුරාධා හේරත්