ජනතාවාදී සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි සූදානම්

0
21

“පොහොට්ටුවේ අයට දේශපාලනයක් නෑ. ඒ අයගේ එකම දේශපාලනය රාජපක්ෂලාට දෙවියෝ” මහරජාණන් කියාගෙන වන්දිභට්ටකම් කිරීමයි. රාජපක්‍ෂලාගේ නාමයෙන් ඡන්ද ඉල්ලුවා මිසක් වෙන කිසිම දේශපාලන අවබෝධයක් නැහැ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ‍ෙදාස්තර  රාජිත සේනාරත්න පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26)  පැවැති මාධ්‍ය  හමුවේ දී ඔහු මේ අදහස් පළ කළේය.

මන්ත්‍රිවරයා එහිදී  වැඩිදුරටත් මෙසේද කීය.

මේ වෙනකොට ලක්ෂ ගණනින් ඡන්ද අරගෙන ජනාධිපති පත් වුණු රටේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ඡන්ද 134ක් අරගෙන ජනාධිපති ලෙස පත් වී තිබෙනවා.

අපි දන්න දේ තමයි රටේ ජනමතයයි පාර්ලිමේන්තුවේ මතයයි කියන්නේ දෙකක් බව. එය මුළු ලෝකයටම නැවතත් සනාථ කර පෙන්නුවා. අපි උත්සාහ කළා අපේ ප්‍රධානත්වයෙන් ඩලස් අලහප්පෙරුමව ජනාධිපති නිලවරණයට යොමු කරලා සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන්න. ඒ අරමුණ වෙනුවෙන් අපි සටන් වැදුණා.

මේ තත්ත්වයෙන් රට මුදා ගන්න රටේ ජනමතයට සමාන්තරව පාර්ලිමේන්තුවේ මතය හසුරුවීම සඳහා අපි එයට විශාල වෑයමක් දැරුවා. එහිදී හැම තැනම අපි කතා කළේ දේශපාලන පක්ෂ නායකයන් එක්ක එම පක්ෂවල සහාය ලබාගන්න සාකච්ඡා කළා. ඒ අනුව පාර්ලිමේන්තුවේ තිබෙන පක්ෂ බැලුවොත් පොහොට්ටුව, යූඇන්පී ඇතුළු සුළු පක්ෂ ඇරෙන්න අනෙකුත් සියලුම පක්ෂ අවසාන මොහොතේදී අපිත් එක්ක හිටියා. නමුත් පොහොට්ටු ගනුදෙනු  කළේ මන්ත්‍රිවරු එක්ක.

ඔවුන් ගනුදෙනු කළේ බලය සහ ධනය එක්ක. හැබැයි අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ප්‍රතිපත්ති ඉදිරිපත් කළා. එය රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා. ඒ වගේම මේ තියෙන අර්බුදයෙන් එළියට එන්නේ කොහොමද කියලා. අපි හැම පක්ෂත් එක්කම කතා කළා. නමුත් ඒ අය ඉදිරිපත් කළේ එහෙම එකක් නෙමෙයි. සල්ලි, බලය සහ තනතුරුයි. ඉල්ලන අයට සල්ලි ලබා දුන්නා. ගෙවල් පිච්චුණු අයට වන්දි ලබා දෙන්න. වාහන පර්මිට්, පඩි වැඩි කිරීම් වැනි දේවල් තමයි ඒ අය ඉදිරිපත් කළේ. එහිදී මන්ත්‍රිවරු ඡන්දය දුන්නේ තමන්ගේ සුබ සාධනය සඳහා. ජනතාවගේ සුබ සාධනය සඳහා නෙමෙයි.

එයින් නැවත වරක් ඔප්පු කළා මන්ත්‍රිවරුන් ක්‍රියා කරන්නේ තමන්ගේ සුබ සාධනය වෙනුවෙන් මිසක් ජනතා සුබ සාධනය වෙනුවෙන් නෙමෙයි කියලා. ඒ අනුව අපි පැරදුණා. ඒ තුළ මන්ත්‍රි  සුබ සාධනය ජයග්‍රහණය කළා. ජනතා සුබ සාධනය පරාජය වුණා. ඒක තමයි පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුවට එරෙහිව තමයි මේ රටේ විශාල ‍ෙදා්ෂාරෝපණයක් තිබෙන්නේ. එය නැවතත් සනාථ වුණා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා මුලින්ම මොකක්ද කළේ. මේ රටේ ජනතාව වෙනුවෙන් යම් සහනයක් දෙන්න රටේ ප්‍රශ්න වෙනුවෙන් ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කළේ නැහැ. සිදු කළේ රාත්‍රියේ නිදාගෙන හිටපු අරගලකරුවන්ට, තරුණයන්ට, කාන්තාවන්ට, අම්මලාට අසික්කිත විදිහට පහර දුන් එක. එතන හිටපු හමුදා, පොලිස් භටයෝ සංවේදීම තරුණයන් දැඩි ක්‍රියාමාර්ගවලට නොයා බීමත්ව හිටපු අය. හමුදාවේ අය ඒ විධියට නෙමේ හැසිරුණේ. වෙනත් පාතාල අය විදිහට හැසිරුණා. සුළු කණ්ඩායමක් තමයි පහරදීමට සහභාගි වුණේ. ඉන්න අය කියන විදිහට. ඒ සඳහා නොයෙකුත් නම් කියවෙනවා. හැමදාම මේ වගේ වනචර, නොසණ්ඩාල මෙවැනි කාලකණ්ණි වැඩපිළිවෙළවල් කරල ගෝඨාභය රාජපක්ෂ විනාශ කරපු එක්තරා පුද්ගලයකුගේ කණ්ඩායමක් තමයි පහර දුන්නේ.

අරගලකරුවන්, කැරලිකරුවන් නෙමෙයි එතන ඉන්න ඇතැම් අරගලකරුවන් හැසිරුණේ ඉතාමත් අහිංසාකාරීව. ඔවුන්ගෙන් පරිබාහිරව ඔවුන් එක්ක සම්බන්ධකම් ඇති කරගෙන තිබෙනවා. එම පහරදීම ජාත්‍යන්තරය හෙළා දකිනවා. වෙනදා රනිල් වෙනුවෙන් ඉදිරිපත් වෙන බටහිර සියලු තානාපතිවරු කාර්යාල ඉතාමත් දැඩිව හෙළා දැකීම් සිදුකළා. එංගලන්තය, ඇමරිකාව,, යුරෝපා සංගමය හා ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සියලුම බටහිර අය හෙළා දැක්කා. ඒ විතරක් නෙමෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ස්ටාෆ් agreement එකේ හිටියේ. ඒ අය මොහු ජනාධිපති වුණාම කිව්වා ඉතාමත් ඉක්මනින් රටත් එක්ක ගිවිසුම් අස්සන් කිරීම කරනවා කියලා  නමුත් මේ පහරදීම හෙළා දැකපු IMF අධ්‍යක්‍ෂතුමිය කීවා අපි නැවත කල්පනාකාරීව තමයි සහන ලබාදීම ක්‍රියාත්මක කරන්නේ කියලා. ඒ ගැන තවදුරටත් සලකා බලනවා කිව්වා. ලෝක බැංකුව මේ පිළිබඳව මේ රටට දෙන ආධාර ගැන නැවත සිතා බලමින් ඉන්නවා. ඇත්තටම අපේ රටම ලැබෙන ආධාර පවා අපට අහිමි වෙන තත්ත්වයක් මේ ක්‍රියාවලිය තුළින් ඇති වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිටරටවල තානාපතිවරුන්ට උගන්වන්න හදනවා. එයා ඇමරිකානු තානාපතිතුමියට කියනවා ඔයගොල්ල කැපිටල් ගොඩනැඟිල්ල අත්පත් කරගත් අයට ගහපු විධියට තමයි අපිත් ක්‍රියා කළේ කියලා. හැබැයි කැපිටල් ගොඩනැඟිල්ලට ආවේ අරගලකරුවන්ද, කැරලිකරුවන්ද. නමුත් මෙම සිදුවීම් දෙකක්.

එහිදී ‍ෙදාරටු අවහිර කර ගැනීම වැරදියි. හැබැයි අරගලකරුවන් ඊට පෙර දින තීන්දුවක් ගත්තා. ඊට පසුවදා දහවල් දෙකට එතනින් ඉවත් වෙනවා කියලා. ඒ බව පොලිස්පතිතුමාට, ජනාධිපතිතුමාට දැනුවත් කළා. මාධ්‍ය ඉදිරියේදී ප්‍රකාශ කළා. එහෙම තියෙද්දී තමයි රෑ නින්දෙන් අවදි කරලා, පහර දීලා, එළවල දැම්මේ. දේශීය විදේශීය මාධ්‍යවේදීන්ටත් පහර දුන්නා. එය ලෝකය පුරාම ගියා. සියලුම අය අරගලය ගැන කතා කරන්න පටන් ගත්තා. නැවතත් රාජපක්ෂ යුගය තවත් මිනිහකුගේ මෙහෙයවීමෙන් කරළියට ඇවිල්ල කියලා.

ජනාධිපතිතුමා කියනවා ඒ පිළිබඳව සියලුම තානාපතිවරුන් ට්විටර් පණිවුඩ නිකුත් කරනවා හැබැයි එයාගේ ගේ ගිනි තිව්ව වෙලාවේ ට්විටර් පණිවුඩ එව්වේ නෑ කියලා. එයාගේ ගිනි තැබීම. මම කිව්වා. ඒ කරපු ක්‍රියාව අදත් කියනවා වැරදියි කියලා. එතුමා මට දුරකථනයෙන් කතා කරලා මගේ ප්‍රවෘත්ති සාකච්ඡා බලලා මට ස්තුති කළා. එතුමාට මෙතෙක් බටහිර සියලු තානාපතිවරුන් එයත් එක්ක හිටියා. අද නැහැ. අද බටහිරත් නැහැ. ඒ නිසා එතුමාට කිසිම ආධාරයක් නැති තැනට පත් කරගත්තා.

මේ මෝඩ ක්‍රියාවෙන් පොහොට්ටුවේ මන්ත්‍රිවරු චූන් වුණත් මෙච්චර කල් තිබුණු ජාත්‍යන්තර සහාය සම්පූර්ණයෙන් නැති වෙලා ගියා. ඒ නිසා එතුමා දැන් කියනවා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. එය යථාර්ථයක්. නමුත් පිහිටුවිය යුත්තේ ජනතාවාදී සර්ව පාක්ෂික ආණ්ඩුවක්. එහෙම නැතුව මන්ත්‍රිවරුන්ට සහන සලසන සර්ව පාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි.

ඒ නිසා ඇත්තටම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනකොට මුලින්ම බලන්න ඕන මේ පාලකයන් ජනතා හිතවාදීද කියලා. ජනතා විරෝධී නම් මොන ආණ්ඩු පිහිටෙව්වත් අපි සියල්ලම ජනතා විරෝධීයි. ඒ නිසා අපි ජයග්‍රහණය කරා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටු වූවා නම් මුළු මහත් ජනතාවගේ ආශීර්වාදය ලැබෙනවා. මෙතන රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සර්වපාක්ෂික හා ආණ්ඩුවට ජනතාවාදී දෙයක් නැහැ. එහෙනම් කොහොමද අපේ ජනතාවත් එක්ක දේශපාලනය කරන්නේ. අපි සර්වපාක්ෂික ආණ්ඩුවකට යන්න මේ සියල්ල ඇති කරගත්තේ.  

නිර්මාණි ගුණරත්න