ගෝල්ෆේස් ත්‍රස්තවාදීන්ට බුදුගුණ කියලා වැඩක් නෑ

0
9

නියමිත කාලයේදී මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය පවත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත පවසයි.

ගෝල්ෆේස් අරගලකරුවන් කියා ගන්නා අය බලහත්කාරයෙන් රටේ පාලනය ඉල්ලුවාට එය ලබාදීමට සූදානම් නැතැයිද සනත් නිශාන්ත මන්ත්‍රිවරයා කීවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළ අතර එහිදී හෙතෙම මෙසේද කීවේය.

මහින්ද රාජපක්‍ෂ මහතා මේ රට බාරගත්තේ මහ මුහුදෙන් තුනෙන් දෙකක් කොටින්ගේ අතට ගිය වෙලාවේ. ඒ කාලේ අම්මලා පාසල් මුර කළා තම දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන්. ඒ වෙලාවේ අපේ රටේ තිබූ සියලු ණය ප්‍රමාණය රුපියල්වලට පරිවර්තනය කළොත් ටි්‍රලියන දෙකක් විතර. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කරන කාලයේ මහා දැවැන්ත සංවර්ධනයක් රටේ සිදුවුණා. අද අපි ලබන විදුලියෙන් 40%ක් ලබාදුන්නේ මහින්ද රාජපක්‍ෂගේ රජයයි.

රටට වැඩියෙන්ම විදුලිය ලබාදුන් ජනාධිපතිවරයා මහින්ද රාජපක්‍ෂයි. ඒ වගේම ඔහු යුද්ධය නිමා කළා. ඒ වසර 9ක කාලය තුළ ටි්‍රලියන 7ක විතර ණය ප්‍රමාණයක් තිබ්බා.

නමුත් 2015 යහපාලන ආණ්ඩුවෙන් රටට සංවර්ධන කටයුත්තක් සිදු කළේ නැහැ. එම කාලය තුළ තිබුණු ණය ප්‍රමාණය දෙගුණයක් වෙලා තිබෙනවා. වසර හතරහමාරක් තුළ ණය ප්‍රමාණය ටි්‍රලියන 14ක් විතර තිබෙනවා. 1948 ඉඳන් ගත්ත ණය ප්‍රමාණය වගේ ගාණක් ඒ වසර හතර තුළ අරන් තිබෙනවා.

ඉන් අනතුරුවයි ඝෝඨාභය රාජපක්‍ෂ මහත්තයා රට භාර ගත්තේ. ඔහු රට භාරගන්නා විට කොවිඩ් – 19 වසංගතය රටට ඇවිත් තිබුණා. ඒ වගේම රට පුරා උද්ඝෝෂණ ඇතිවෙනවා. වසර 25ක් තිස්සේ නොවිසඳුනු ගුරු වැටුප් ප්‍රශ්නය විසඳෙන්නේ ඝෝඨාභය ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේයි.

ඉන්ධන අර්බුදය ගැන කිව්වොත් එසමයෙහි හිටිය බලශක්ති අමාත්‍යවරයා හිතාමතාම රටේ ඉන්ධන අර්බුදයක් ඇති බවට මතයක් හැදුවා කියලායි මම හිතන්නේ.

ඒ නිසයි ජනතාව ඩීසල්, පෙට්රල් එක්රැස් කළේ. මෙතනින් තමයි ඉන්ධන අර්බුදයක් රට තුළ නිර්මාණය වුණේ. මෙම ප්‍රශ්නවලට හරි ආකාරව ඝෝඨාභය ජනාධිපතිවරයා මුහුණ දුන්නෑ කියලයි මගේ මතය.

1971 කැරැල්ල සිරිමාවෝ මැතිනිය සාර්ථකව මැඬපැවැත්වූවා. 1988, 1989 කැරැල්ල ප්‍රේමදාස මහත්තයා සාර්ථකව මැඬපැවැත්වූවා. නමුත් වර්තමානයේ අරගල කළ ත්‍රස්තවාදීන්ට බුදු ගුණ කියලා වැඩක් නැහැ.

ඔවුන්ට සලකන්න ඕන විදිහට සැලකුවා නම් මේ ප්‍රශ්න අද ඇති වන්නේ නැහැ. දෙමළ – සිංහල ඩයස්පෝරාව, බංකොලොත් වෙච්ච පෙරටුගාමී පක්‍ෂ වගේ පක්‍ෂ තමයි මේ ප්‍රශ්න රටේ ඇති කළේ. ඒ වගේම සියයට තුනේ ජනතා විමුක්ති පෙරමුණත් මෙහි සිටිනවා.

මේ කැරැල්ලට හරි විදිහට ඝෝඨාභය ජනාධිපතිවරයා මුහුණ නොදුන් නිසා ඔහුට ධුරයෙන් ඉවත් වන්නට සිදුවුණා.

නමුත් අද ව්‍යවස්ථානුකූලව රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ජනාධිපතිවරයා වී තිබෙනවා.

රටේ අර්බුද ව්‍යවස්ථානුකූලව විසඳගත යුතුයි. එහෙම නැතුව අරගලකරුවන්ට ඕන විදිහට ප්‍රශ්න විසඳන්න බැහැ. දේශපාලක අහිගුන්ඨිකයන්ගේ දේශපාලන අවශ්‍යතා ඉටුකරන්න අපට අවශ්‍ය නැහැ.

මැයි 9 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු හැත්තෑ ගණනකගේ නිවාස 400ක් පමණ ගිනි තිබ්බා. මේක කළේ ඉතාම සංවිධානාත්මක පිරිසක්. සංවිධානාත්මකවයි එය කළේ.

ජනතා විමුක්ති පෙරමුණ මෙම ප්‍රචණ්ඩ ක්‍රියා කළ බවට සමාජයේ මතයක් පැතිරිලා තිබෙනවා. අද රටේ තියෙන ප්‍රධාන අර්බුදය ඩොලර් අර්බුදයයි. අද සංචාරක කර්මාන්තය නඟා සිටුවන්නට නම් මේ රටේ ඉන්ධන, ගෑස් අර්බුද විසඳගත යුතුයි. අපි ඉන්ධන අර්බුදය වහා විසඳගත යුතුයි. ඒ වගේම ඉන්ධන ජාවාරමත් නැවැත්වීමට කටයුතු කරනවා අපි.

ඉන්ධන ලබාදීම වෙනුවෙන් හඳුන්වාදුන් කේත ක්‍රමය ඉතාම සාර්ථකයි. ඒ සඳහා අපි ඕනෑම පරිත්‍යාගයක් කරන්න මහජන නියෝජිතයන් ලෙස සූදානම්.

ඒ වගේම විදේශගත ආදරණීය සහෝදරවරුන්ට මම කියන්නේ ඔබේ ඩොලර් අපේ රටට එවන්න. ඒ ගැන බයවෙන්න එපා. ඩොලර් රටට එවලා රටේ අර්බුද විසඳන්න අපිට සහාය වෙන්න.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය