ගෝල්ෆේස් අරගලකරුවන් සිය ගණනක් අත්අඩංගුවට ගන්න යනවා

0
68

ජනාධිපති මන්දිරයට ඇතුළු වී හානිකර ඇතැයි චෝදනා කරමින් පොලිසිය යොදා  ගාලුමුව‍ෙදාර අරගලකරුවන් සිය ගණනක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව නීතීඥ නුවන් බෝපගේ පැවැසීය.

පුරාවිද්‍යා පනත යටතේ නඩු පවරා අධිකරණ කටයුතු අවසන් වනතෙක් එම පිරිස බන්ධනාගාරවල රඳවා තැබීමේ උත්සාහයක් තිබෙන බවද බෝපගේ මහතා සඳහන් කළේය.

පොලිස් මූලස්ථානය අරගලකරුවන් මර්දනය කිරීමේ මූලස්ථානය ලෙස යොදාගෙන ඇතැයි  පැවසු නුවන් බෝපගේ විවිධ උසාවි නියෝග ලබා ගැනීමටත්, විවිධ නඩු පැවරීම් සිදුකිරීමටත් කටයුතු කර ඇතැයි පෙන්වා දෙයි.

අරගලයේ යෙදී සිටි පස් දෙනකුගේ විදෙස් ගමන් බලපත්‍ර තහනම් කිරීමත්, කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා  ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක්  පැමිණ බණ්ඩාරනායක පිළිරුව අසල සිටි අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමත් මෙම කුමන්ත්‍රණයේ ප්‍රතිඵල අනුව සිදුව ඇතැයිද හෙතෙම කීය.

පොලිසිය හා අධිකරණය මර්දන ආයතන ලෙස යොදා ගැනීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබෙන බවත්, එය පරාජය කිරීමට ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් බෝපගේ මහතා ප්‍රකාශ කළේය.

අමිත් මධුරංග ගමගේ