ගතවූ දින දහයේ කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක්

0
13

ගතවූ දින දහය තුළ කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය වී ඇතැයි වැඩ බලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවැසීය.

ගෝලීය වශයෙන්ද කොවිඩ් ආසදිතයන්ගේ  ක්‍රමික වැඩිවීමක් දක්නට ලැබෙන බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම විවිධ රටවලින් කොවිඩ් නව අනු ප්‍රභේදවල වැඩිවීමක් පවතින බවද හෙතෙම කීය.

එම අනු ප්‍රභේදවල සංකුලතා වැඩි ප්‍රමාණයක් සහ සීග්‍ර ව්‍යාප්තියක් සහිත බවත් වෛද්‍ය සමිත ගිනිගේ පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26දා) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව කීය.

පසුගිය දින දහය තුළ මෙරට කොවිඩ් ආසාදිතයන්ගේ ක්‍රමික වැඩි වීමක් දක්නට ලැබුණු බවද එය දිනකට රෝගීන් පනහක් හැටක් වාර්තා වන තරමට කොවිඩ් ව්‍යාප්තිය වර්ධන වී ඇතැයිද ඔහු අවධාරණය කළේය.

ඊයේ (26) දවස තුළ කොවිඩ් මරණ 4ක් ද වාර්තා වූ බව වෛද්‍ය ගිනිගේ කියා සිටියේය.

දෛනිකව වාර්තා වන රෝගීන්ගේ වැඩි වීමට සාපේක්ෂව මරණ සංඛ්‍යාව වැඩිවීමේ අවදානමක් මතුවන බවද හෙතෙම පැවැසීය. 

කොවිඩ් පාලනයට එන්නත පමණක් නොව නිසි ප්‍රමිතියෙන් යුතු මුව ආවරණද පැලඳිය යුතු යැයි ඔහු කීය.

හොඳ සෞඛ්‍ය පුරුදු හා එන්නත්කරණය හේතුවෙන් පසුගිය කාලයේ හොඳින් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කළ බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

පොදු ස්ථාන, ජනතාව ගැවසෙන තැන්වල, පොදු ප්‍රවාහනයේදී හා කණ්ඩායම් ලෙස එක් වීමේදී නිසි ප්‍රමිතියෙන් යුතු මුඛ ආවරණයක් අනිවාර්යෙන් පැලඳිය යුතු යැයි හෙතෙම අවධාරණය කළේය.

පසුගිය කාලයේදී ජනතාව නිසි අයුරින් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළද කොරෝනා ව්‍යාප්තිය යම් තරමකින් පාලනය වීමත් සමඟ එම පුරුදු භාවිත කිරීම යම් තරමකින් දුරස් වී ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

දෑත් සබන් යොදා සේදීම, හැකි සෑම විටකම දුරස්ථභාවය පවත්වා ගැනීම, අනවශ්‍ය ලෙස සමාජයට නිරාවරණය නොවීම වැනි දේ කොවිඩ් පමණක් නොව අනෙක් රෝග ව්‍යාප්තිය පවා පාලනය කිරීමට උපයෝගී වන බවද හෙතෙම කීය.

එකවරම කොවිඩ් රෝගීන්ගේ විශාල වැඩි වීමක් සිදු වුවහොත් එය සෞඛ්‍ය පද්ධතියට දරා ගත නොහැකි තරම් ධාරිතාවක් වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

කොවිඩ් මර්දන එන්නත්වල පළමු හා දෙවැනි මාත්‍රාව ලබාදී වසරක් පමණ ගත වන නිසා කල් ගත වන විට එම එන්නත්වල ප්‍රතිශක්තිකරණ මට්ටම ක්‍රමානුකුලව අඩු වන බවද හෙතෙම පැවැසීය.

එම නිසා එන්නත් මාත්‍රා දෙකක් පමණ ලබා ගත් බොහෝ දෙනකුගේ ශරීරවල ප්‍රතිශක්තිය ප්‍රශස්ත මට්ටමක නොපවතින බව ඔහු කීය.

විශේෂයෙන්ම නිදන් ගත රෝග ඇති අය සහ වයස අවුරුදු හැටට වැඩි අයගේ ශරීරවල ප්‍රතිශක්තිය අඩු වීම අනෙක් අයට සාපේක්ෂව සීග්‍ර මට්ටමින් සිදු විය හැකි යැයි වෛද්‍ය ගිනිගේ පෙන්වා දුන්නේය.

ඉදිරියේදී කොවිඩ් රැල්ලක් පැමිණියහොත් ප්‍රථමික එන්නත්කරණයක් ලබාගත් පිරිස් වැඩි අවදානමකට ලක්වන නිසා වර්ධක එන්නත් මාත්‍රා ලබා ගන්නා ලෙස හෙතෙම ඉල්ලීමක් කළේය.

සවනි ශේශාධි