කුසල් ජනිත්ගේ ආබාධය පිළිබඳව ක්‍රිකට් ආයතනයෙන් විශේෂ ප්‍රකාශයක්

0
29

ශ්‍රී  ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ ආබාධය වෙනුවෙන් සිදු කරන ශල්‍යකර්මයේ වියදම් දැරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේදී පළවූ පුවත් වාර්තාවන් සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය නිල පැහැදිලි කිරීමක් සිදු කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබිණි.

ඒ අනුව ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතන වෛද්‍ය කමිටුවේ නිර්දේශ යටතේ කුසල් ජනිත් සතු උරහිසේ ආබාධ තත්ත්වය සුවය ලැබීම සඳහා සති 12ක විශේෂ පුනරුත්ථාපන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබූ බව අදාළ නිවේදනයේ දක්වා තිබේ. මෙහිදී එළැඹෙන ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සහ ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තේරීම් වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා සූදානම් කරවීම එහි අරමුණ වී තිබූ බවද සඳහන්ය.

කෙසේ නමුත් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉහත සඳහන් කළ පුනරුත්ථාපන ක්‍රියාවලිය ක්‍රියාත්මක කාලසීමාව තුළ කිසිදු තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවකට එක් නොවන ලෙස කුසල් ජනිත් පෙරේරාට උපදෙස් ලබා දුන් බවත්, මෙම පුනරුත්ථාපන වැඩසටහන කල් දැමීම ඔහුගේ ආබාධය සුව වීම සඳහා අහිතකර ප්‍රතිඵල ලඟා කරවන්නක් විය හැකි බවත් ක්‍රිකට් ආයතනය කුසල් ජනිත් වෙත උපදෙස් දී තිබූ බවද එම නිවේදනයේ දක්වා ඇත.

මෙවන් පසුබිමක් තුළ ක්‍රිකට් ආයතන උපදෙස්වලට අවනත නොවෙමින් ඔහුගේ ආබාධය සුවය ලැබීමට බලපෑම් එල්ල වන ලෙස කුසල් 2021 වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ බව ක්‍රිකට් ආයතනය පවසයි.

එසේ වුවද මෙම උත්සාහයන් මධ්‍යයේ කුසල් ජනිත් අඛණ්ඩව පුනරුත්ථාපන ක්‍රියාවලියට සහභාගි වීමට අපොහොසත් වූ බවත් කුසල් අවසන් වරට ශ්‍රී  ලංකා ක්‍රිකට් උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේදී මෙම පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා සහභාගි වූයේ මෙම වසරේ අප්‍රේල් මස 29 වැනිදා බවද සඳහන්ය.

ඒ අනුව ඉහත පුනරුත්ථාපන වැඩසටහන සඳහා ඔහුගේ කැපවීම ඉතාමත් අවම මට්ටමක පැවැතීම හේතුවෙන් අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය පාර්ශ්වයෙන් නැවත සලකා බැලීමක් සිදු කළ බවද එහි දක්වා තිබිණි. එවන් තත්ත්වයක් පැවැතියද කුසල් ජනිත්ගේ සැත්කම සඳහා අවශ්‍ය වියදමින් වැඩි කොටසක් දැරීමට ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවන බව ඔහුට දන්වා ඇති බවද අවසන් වශයෙන් මෙම නිවේදනයේ දක්වා තිබේ.

ගමිත දෙහිපිටිය