කහ විකුණගන්න බැරිව දඹුලු ගොවීහු පීඩාවට

0
57

දේශීය කහ වගාවේ අස්වැන්න නෙළීම ආරම්භ කොට ඇතත් මේ වන විට අමුකහ මෙන්ම වියළි කහ සඳහාද මිලක් නොමැතිවීම හේතුවෙන් දිවයින පුරා කහ ගොවීහු දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ගොවීහු පෙන්වා දෙති.

දඹුල්ල, ගලේවෙල, සීගිරිය, නාඋල ආදී ප්‍රදේශවල බොහෝ ගොවීහු තම කහ අස්වැන්න නෙළා විවිධ ක්‍රම හරහා ඒවා තම්බා වේළා ගබඩා කරගෙන සිටින අතර මින් ඉදිරියට ඔවුහු කහ වගාව සිදු නොකරන බව පවසති.

ඉන්දියාව සහ අනෙකුත් රටවල්වලින් මෙරටට කහ ගෙන්වීම රජය මඟින් තහනම් කිරීමත් සමඟ දිවයින පුරා උග්‍ර කහ හිඟයක් පැවැති පසුව ගොවීන් බොහෝ දෙනා දේශීය කහ අවශ්‍යතාව සපුරාලීම සඳහා කහ වගා කළද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ වගකිව යුතු කිසිදු ආයතනයක් කහ නිෂ්පාදන මිලදී ගෙන හෝ ඒවා ජනතාවට පරිභෝජනය කරන ක්‍රමවේදයක් සකසා නොදීම හේතුවෙන් මෙම තත්ත්වයට පත්ව ඇති බව දේශීය කහ ගොවීහු පෙන්වා දෙති.

ගලේවෙල ගොවීන් කහ අස්වනු නෙළා මේ වන විට බැරල්වල යොදා තම්බා මහ පරිමාණයෙන් කහ වියළන අයුරු දැක ගැනීමට හැකි වුවද ඔවුන් කියන්නේ නිසි තාක්‍ෂණ ක්‍රමවේදයක් හෝ නොදැන ඉතා ප්‍රාථමික ක්‍රමවලට මෙම අස්වැන්න වියළීම සිදු කරන බවය.

අමුකහ සඳහා වෙළෙඳපොළේ කිලෝවක් රුපියල් 60කටත් අඩු මුදලක් ලැබෙන බවත් එම මුදලට හෝ මිලදී ගැනීමට අයකු නැති බවත් ඔවුහු පෙන්වා දෙති.

ඉදිරියේදී කිසිදු ආකාරයකින් කහ වගාව නැවත සිදු නොකරන බවත් ලබන මාසයේ සිට නැවතත් ලංකාවට අවශ්‍ය කහ ඩොලර් ලබාදී විදේශ රටවලින් ගෙන්වීමට සිදුවන බවත් පෙන්වා දෙන ගොවීන් කියා සිටියේ හොර රහසේ ලංකාවට කහ කුඩු සහ කහ කැබැලි ගෙනැවිත් අලෙවි කිරීමේ කටයුතු නිසා දේශීය කහවලට මිලක් නොමැති බවය.

දඹුල්ල – කේ.කේ. ආරියදාස