කතරගම ඇසළ මංගල්‍යයට සියල්ල සූදානම්

0
27

කතරගම දේවාලයේදී ලබන 29 වැනි දින  පැවැත්වෙන ඇසළ මංගල්‍ය සඳහා අවශ්‍ය සියලුම සංවිධාන කටයුතු සහ පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල සූදානම් කර අවසන් බව කඳවුරු භාර නිලධාරි මොනරාගල දිසා ලේකම් ගුණදාස අමරසිංහ ප්‍රකාශ කළේය.

කතරගම  ඇසළ මංගල්‍ය වෙනුවෙන් කතරගම කිරිවෙහෙර රජමහ විහාරයේදී පැවැති අවසාන සංවිධාන රැස්වීමේදී දිසාපතිවරයා මේ බව සඳහන් කළේය.

රටේ පවතින ඉන්ධන හිඟය මත දැඩි පීඩනයකින් මෙවර පෙරහර සංවිධානය කිරීමට සිදුව ඇති බවත් වෙනත් වසරවලදී රජය විසින් ලබාදුන් ප්‍රතිපාදන මෙවර නොලැබීම මත අපහසුතාවන් පැවැතියත් හැකි උපරිම දායකත්වයෙන් තම යුතුකම් ඉටු කරමින් පෙරහර සිදු කිරීමට සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බවද ගුණදාස අමරසිංහ පැවැසීය.

ඇසළ මංගල්‍ය සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන් වෙත වෙනත් වසරවලදී කතරගම ප්‍රදේශයේ පාසල් ලබාදීම සිදු වුවත් මෙවර එසේ කිරීමට මවුපියන්ගේ දැඩි විරෝධයක් ඇති වී ඇති බවත් පාසල් දීර්ඝ කාලයක් වසා දමා තිබූ අතර මෙම මස 25 වැනි දින පාසල් ආරම්භ වීම මත දරුවන්ගේ අධ්‍යාපනය නිසි ලෙස පවත්වාගෙන ගෙන යෑම මුල්කර ගෙන පාසල් පොලිස් නිලධාරීන්ගේ නවාතැන් ලෙස ලබාදීමට නොහැකි බව උෟව පළාත් අධ්‍යාපන ලේකම් සෞම්‍යා අඹන්වල මහත්මිය සඳහන් කළාය.

පොලිස් නිලධාරින් සඳහා වෙනත් විකල්ප ස්ථාන භාවිත කිරීමට මෙහිදී තීරණය කරන ලදී.

කතරගම පොලිස් ස්ථානාධිපති එල්.ඩී. රෝෂන් අනුරුද්ධ මහතා සඳහන් කළේ පූජා භූමියේ නව රථ වාහන සැලැස්මක් අනුව           සෙල්ලකතරගම  මාවත භාවිත කර රථවාහනවලට පැමිණීමටත් පිටවීම සඳහා නාගහවීදිය පාලම ඇති මාර්ගය භාවිත කිරීමට කටයුතු කරන බවයි.

මෙහිදී අදහස් දැක්වූ කතරගම ශ්‍රී  අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන් සඳහන් කළේ කතරගම පූජා භූමියේ අවට ගම්වල ජනයා වන්දනාකරුවන්ට නවාතැන් සැපයීම ආදී සේවා සිදුකරන නාගහවීදිය පාලම අවට  සැමට විවෘත කරන ලෙසයි.

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් සඳහන් කළේ වසර 03කින් පසුව මෙවර ඇසළ පෙරහර බැතිමතුන් සඳහා විවෘත වීම මත වැඩි පිරිසක් පැමිණීමට හැකි බැවින් එම බැතිමතුන්ට පහසුකම් ලබා දෙමින් මෙවර ඇසළ මංගල්‍යය ඉතාම ඉහළින් සිදු කිරීමට කවුරුත් වගකීමක් ලෙස සිත්තබා ගත යුතු බවයි.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ මේ වනවිට බැතිමතුන් සඳහා නව වැසිකිළි පද්ධති 04ක් පමණ අලුතින් ඉදිකර පූජා භූමියේ බැතිමතුන්ට අවශ්‍ය යටිතල පහසුකම් රැසක් ලබා දීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බවයි.

කතරගම ජනයාගෙන් වැඩි පිරිසක් ජීවත් වන්නේ බැතිමතුන්ට විවිධ දේවල් වෙළෙ¼දාම් කරමින් බැවින් මෙවර කඩ වෙන්දේසි නොකර කතරගම නගරයේ වෙළෙඳුන්ගේ පහසුකම් බලා ඔවුන්ගෙන් මුදලක් අයකර තාවකාලික කඩ වෙන්දේසිය අවම කර ජනයාට සහනයක් ලබා දෙන ලෙස කතරගම ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලීමක් කරන බව පැවැසූ ඩිෂාන් ගුණසේකර මහතා මේ දිනවල සිදුකරන විදුලි කප්පාදුව කතරගම ඇසළ මංගල්‍ය පැවැත්වෙන කාල සීමාවේදී සිදු නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලිීමක් කරන බවද පැවැසීය.

ඇසළ මංගල්‍ය සමයේදී උෟව සහ දකුණු පළාත් මාර්ගස්ථ  ප්‍රවාහන අධිකාරිය මඟින් විශේෂ බස් සේවා ලංගම සහ පෞද්ගලික අංශ එක් වී සිදු කිරීමටද තීරණය කර ගත් අතර උෟව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ කතරගම නගරයේ වෙළෙඳසල් පරීක්ෂාව සඳහා මහජන සෞඛ්‍ය නිලධාරීන් යොදවන බවත් පූජා භූමියේ විශේෂ සෞඛ්‍ය කඳවුරු ඇසළ මංගල්‍ය කාල සීමාවේදී ඉදි කිරීමට කටයුතු කරන බවයි.

මෙම රැස්වීම කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පැවැති අතර තංගල්ල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න ද කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා කතරගම ප්‍රාදේශීය ලේකම්වරයා සහ කතරගම ප්‍රාදේශීය සභා කොමසාරිස්වරයාද ඇතුළු රාජ්‍ය  සහ රාජ්‍ය නොවන සංවිධාන රැසක  නියෝජිතයෝ අවස්ථාව සඳහා එක්වූහ.

කතරගම – සන්දිම දේවප්‍රිය