ඉන්ධන බෙදන්න නිසි ක්‍රමයක් නැතිනම් ලබන සතියේ සිට ධාවනයෙන් ඉවත් වෙනවා

0
13

පෞද්ගලික බස් රථ සඳහා ධාවනයට ප්‍රමාණවත් ඉන්ධන ලබා දීමට රජය කටයුතු නොකරන්නේ නම් ලබන සතියේ සිට සියලුම බස් රථ ධාවනයෙන් ඉවත් වෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් ‘මව්බිම’ට පැවැසීය.

රජය විටින් විට පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවට පුවත් වර්තා වුවත් එය ප්‍රායෝගිකව සිදු නොවෙන බවත් ලංගම ඩිපෝ මඟින් ඉන්ධන ලබාදීම ඉතා සීමිත බවත් ප්‍රියන්ජිත් මහතා කීය.

අන්තර් පළාත් බස් රථ ධාවනයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට රජය මේ සතිය තුළ නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ නම් ලබන සතියේ සිට ධාවනයෙන් ඉවත් වෙන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභපති එස්. විජිත කුමාර සඳහන් කළේය.

ඉන්ධන හිඟය හේතුවෙන් ඊයේ (26දා) මෙන්ම පසුගිය සති කිහිපය පුරාම 3000කට අධික ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත් කිරීමට සිදු වූ බවත් ධාවනය කරන ලද්දේ බස් රථ 200කටත් අඩු සංඛ්‍යාවක් බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

පොදු ප්‍රවාහනයේ පිහිට පතන මගී ජනතාවට බස් රථ ධාවනය අඩාල වීම නිසා තම දෛනික රාජකාරි සිදු කර ගැනීමේ දැඩි අපහසුතාවක් පවතින බවත් පාසල් ආරම්භ කර ඇති නිසා පවතින තදබදය තව තවත් වැඩි වී ඇති බවටද ජනතාව චෝදනා කරති.

මිතුන් ජයවර්ධන