ඉන්දියාව දුන් මානුෂීය ආධාරයේ අවසන් කොටසත් ඇවිත්

0
26

ඉන්දීය ජනතාවගේ ප්‍රදානයක් ලෙසින් ලැබුණු මානුෂීය ආධාර තොගයේ අවසන් කොටස ඊයේ (26දා) මෙරටට ලැබී ඇතැයි වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ සඳහන් කරයි.

එම තොගයට සහල් මෙටි්‍රක් ටොන් 16,595ක්, කිරිපිටි මෙටි්‍රක් ටොන් 200ක් සහ ඔෟෂධ ඇතුළු අනෙකුත් වෛද්‍ය උපකරණ මෙටි්‍රක් ටොන් 38ක් ඇතුළත්ව ඇත.

ඒ අනුව ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 22ක වටිනාකමකින් යුතු, සහල් මෙටි්‍රක් ටොන් 40,000ක්, කිරිපිටි මෙටි්‍රක් ටොන් 500ක් සහ ඔෟෂධ ඇතුළු අනෙකුත් වෛද්‍ය උපකරණ මෙටි්‍රක් ටොන් 102ක් අදියර 03ක් යටතේ මෙරටට හිමිවී තිබේ.

ශ්‍රී  ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, සෞඛ්‍ය සහ ජල සම්පාදන ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සෙන්දිල් තොණ්ඩමන්, ජීවන් තොණ්ඩමන්, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ ලේකම් එස්.ටී කොඩිකාර, ආහාර කොමසාරිස් ජේ. ක්‍රිෂ්ණමූර්ති සහ අනෙකුත් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම පරිත්‍යාගය පිළිගෙන ඇත.

2019 වසරේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ සංගණනය මත පදනම්ව දිස්ත්‍රික්ක 25 තුළ දරිද්‍රතා දර්ශකයේ පහළම ස්ථරයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් අතුරින් තෝරාගත් මිලියන දෙකකට ආසන්න ජනතාවක් වෙත මෙම මානුෂීය ආධාර බෙදා දී තිබේ.

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා මෙම කාර්යයන් සම්බන්ධීකරණය සිදුකෙරෙන අතර සියලුම දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මෙම ආධාර ප්‍රතිලාභීන් වෙත බෙදාහැරීම සිදුකෙරෙන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සඳහන් කරයි.

සඳුනි ගමාරච්චි