ඉදිරියේදී තෙල් මිලදී ගැනීම අවිනිශ්චිත තත්ත්වයක

0
107

ඉදිරි කාලය සඳහා ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් පවත්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ විද්‍යුත් නාළිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි. ලබන මාසය සඳහා ඩීසල් නැව්ගත තොග 3කට සහ පෙට්රල් නැව්ගත තොග 2කට මේ වන විට මුදල් ගෙවා ඇති බවද මහ බැංකු අධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ අතර එය ලබන මාසයේ මුල් කොටස සඳහා ප්‍රමාණවත් වන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

විදෙස් රටවලින් ණය පහසුකමක් සම්බන්ධ උදව්වක් තිබුණහොත් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන මඟින් ස්ථාවර වැඩපිළිවෙළකට අවතීර්ණ වුවහොත් ඉන්ධන ගැටලු සම්බන්ධයෙන්ද ස්ථාවර වැඩපිළිවෙළකට පැමිණිය හැකි බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.

මාසයකට තෙල් සඳහා පමණක් ඩොලර් මිලියන 300ත් 400ත් අතර ප්‍රමාණයක් වැයවන බවද දැනට පවතින ගැටලුව මේ වන විට සංචිත බොහෝ සෙයින් අඩු මට්ටමක පැවතීම බවද හෙතෙම එහිදී සඳහන් කළේය. මෙරට විදේශ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක් වන අතර එයින් අපනයනවලින් බිලියන 1ක්ද, ප්‍රේෂණවලින් ඇමරිකානු ඩොලර් මිලියන 300ක් ලැබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළ අතර ගැටලුව අපනයනකරුවන් උපයන මුදල බැංකු ක්‍රමය හරහා රට තුළට සම්පූර්ණයෙන් නොපැමිණීම බවද හෙතෙම පෙන්වා දුන්නේය. පසුගිය මාස කිහිපයක කාලය නිරීක්‍ෂණය කිරීමේදී අපනයනකරුවන් ඩොලර්වලින් සියයට 20ක පමණ ප්‍රමාණයක් පමණක් රුපියල්වලට පරිවර්තනය කර ඇති බව නිරීක්‍ෂණය වන බවද මහ බැංකු අධිපතිවරයා එහිදී පවසා සිටි අතර එය සාමාන්‍යයෙන් සියයට 40ක ප්‍රමාණයක් විය යුතු බවද පවසා සිටියේය.

අපනයන ආදායම, ප්‍රේෂණ ඇතුළු විදේශ ආදායම් බැංකු ක්‍රමය හරහා රට ඇතුළට ගෙන ඒමට හැකි නම් තෙල් පිළිබඳ ගැටලුව විසඳිය හැකි බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අමිල අබේරත්න