අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

0
13

අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ උෟරවත්ත පාලම අසලදී ඊයේ (26දා) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇත. මියගොස් ඇත්තේ වසන්ත සොයිසා නැමැති ඉඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මියගිය වසන්ත සොයිසා නැමැත්තා බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට පෙනී සිට නිවෙස කරා යතුරුපැදියෙන් ආපසු යන අවස්ථාවේදී පසුපසින් පැමිණි වෙඩික්කරුවන් විසින් මොහුට වෙඩි තබා පලාගොස් ඇති බව අම්බලන්ගොඩ පොලිසිය කියයි. මොහු සමඟ තවත් පුද්ගලයකු ගමන් කර ඇති බවත් ඔහුට අනතුරක් සිදුව නොමැති බවත් පොලිසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් සී. සී. ටී. වී. දර්ශන ඔස්සේ පරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර ඇල්පිටිය ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි වයි. එල්. ලීලවංශ මහතාගේ හා අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි (වැ.බ.) සම්පත් බණ්ඩාර යන අයගේ අධීක්‍ෂණය යටතේ අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක එන්. කේ. විතානගේ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් පරීක්‍ෂණ කටයුතු කරති.

අම්බලන්ගොඩ – ධර්මදාස සිරිවර්ධන