QR ක්‍රමවේදය අද සිට: ක්‍රියාත්මක වන හැටි මෙන්න

0
885

ජාතික ඉන්ධන අවසර පත අද (ජූලි 26) සිට දිවයින පුරා CEYPETCO සහ LIOC ඉන්ධන පිරවුම් හල් රැසකදී ක්‍රියාත්මක කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස්කර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ක්‍රමය අගෝස්තු 1 වන දා දක්වා අංක තහඩුවේ අවසාන ඉලක්කම් අනුව ක්‍රියාත්මක කෙරෙන බව ය.

තාක්‍ෂණික ගැටලු නිරාකරණය කරන තෙක් පහසුකම් නොමැති හෝ තාක්‍ෂණික දුෂ්කරතා ඇති පිරවුම් හල් අවසාන ඉලක්කම් සහ කෝටා වෙන් කර ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමය අනුගමනය කරනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඔහු සඳහන් කළේ, පිරවුම් හල්වලින් 60%ක් දැනටමත් සන්නද්ධ කර පරීක්ෂා කර ඇති අතර ඉන්ධන බෙදා හැරීමේදී ඒවාට ප්‍රමුඛත්වය ලබා දෙන බව ය.

වහා ම මෙම ක්‍රමය අනුගමනය කරන ලෙස CEYPETCO සහ LIOC යලුම ඉන්ධන පිරවුම් හල් හිමියන්ගෙන් ඉල්ලා සිටින අතර අගෝස්තු 1 වන දා වන විට QR පහසුකම් සහිත ඉන්ධන පිරවුම් හල් වෙත ප්‍රමුඛතාව දී ඉන්ධන බෙදා හැරීම දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා එහි සඳහන් කර තිබේ.

එමෙන් ම, ජාතික ඉන්ධන බලපත්‍රය සමග ලියාපදිංචි වන ලෙස සහ මුලපිරීම සඳහා සහය දෙන ලෙස ඔහු එමගින් මහ ජනතාවගෙන් ඉල්ලා සිට ඇත.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ, මෙම සතිය අවසන් වන විට තම ව්‍යාපාර ලියාපදිංචිය සමග බහු වාහන ලියාපදිංචි කිරීමට පරිශීලකයින්ට සහ ලියාපදිංචි වීමට රජයේ ආයතනවලට විකල්ප ක්‍රමයක් හඳුන්වා දෙන බව ය.

එමෙන් ම, ප්‍රාදේශීය ලේකම්වරුන්ට විදුලි ජනක යන්ත්‍ර, ගෙවතු වගා උපකරණ සහ අනෙකුත් උපකරණ ලියාපදිංචි කිරීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය වෙත ප්‍රවේශය ලබා දෙන බව ද ඔහු එහි සඳහන් කර තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට ප්‍රවේශය ලබා දෙන අතර, සෑම ත්‍රිරෝද රථයක් ම නිශ්චිත ඉන්ධන පිරවුම්හලකට වෙන් කරනු ලබන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එමෙන් ම, ඩිපෝවලට හෝ ඉන්ධන පිරවුම්හල්වලට බස් රථ ලියාපදිංචි කිරීමට ප්‍රවාහන අමාත්‍යංශයට ප්‍රවේශය ලබා දෙන බව ඔහු සිය සටහනේ දක්වා තිබේ.

අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය, කෘෂිකර්මය, ධීවර, සංචාරක, කර්මාන්ත සහ සේවා සපයන අංශ වැනි අනෙකුත් සේවාවන්ට තම අවශ්‍යතා ලියාපදිංචි කිරීමට සහ ඉන්ධන පිරවුම්හල්වල වාහන වෙන් කිරීමට පද්ධතියට ප්‍රවේශය ලබා දෙන බව ය.

අගෝස්තු 1 වන දා සිට QR කේතය පමණක් ක්‍රියාත්මක වන අතර අංක තහඩුවේ අවසාන අංකය සහ අනෙකුත් ප්‍රතිපාදන වලංගු නොවන බව අමාත්‍යවරයා සිය පණිවිඩයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.