QR කේතයෙන් අර්බුදය විසඳන්න පුළුවන් ද?

0
96

මේ ශ්‍රී ලංකාවේ වාසය කරන අයවලුන්ට තියෙන්නෙ කෙටි කාලීන මතකයක්ද කියලා ඇතැම් වෙලාවකට හිතෙන්නෙ අද කතා කරන මාතෘකාව මතක තියෙන්නෙ බොහොම කෙටි කාලයකට පමණක් නිසයි. සතියෙන් සතිය අලුත් මාතෘකා මවන බුකිය නිසාම වෙන්න ඇති රටේ තියෙන ප්‍රශ්න පවා සතියෙන් දෙකෙන් අමතක වෙලා අලුත් අලුත් ප්‍රශ්න මවා ගන්න මේ සිරි ලංකාදීප වැස්සන්ට අවශ්‍ය වන්නේ එකම වැකිය හෝ ඡායාරූපයක් පමණයි. හොඳම සහ ආසන්නතම උදාහරණයක් ගන්නවා නම් ඔබට මතක ඇති මීට මාස කිහිපයකට පෙර ඔබ ගමනක් යන අවස්ථාවක තමන්ට කැමැති ශෙඩ් එකකින් ඉන්ධන ලබාගන්නවා. එහෙම ගන්න බැරි වුණාම පෝලිම්වලට පුරුදු වුණා. ඊට පස්සෙ ටෝකන්වලටත් දැන් වෙනකොට වාහනේ අංක තහඩුවේ අවසාන ඉලක්කමටත් පුරුදු වුණා. මීළඟට පුරුදු වෙන්න තියෙන්නෙ QR කෝඩ් එකට.

ලංකාවේ දැඩි ඉන්ධන හිඟ‍යත් සමඟ ඇතිවන පෝලිම් සහ නොයෙකුත් වංචා වැළැක්වීමට ලක් රජය විසින් QR කේතයක් හඳුන්වා දෙනු ලැබුවා. මේ මොහොත වනවිට මිලියන 2කට අධික පිරිසක් මේ සඳහා ලියාපදිංචි වී සිටින බවයි වාර්තා වන්නෙ. ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචී වීමේදී ලැබෙන QR කේතය, (Quick Responce Code) නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නෙ ජපානයට. ජපානයේ සිටින ‘මසහිරෝ හරා’ කියන පුද්ගලයා විසින් 1994 වසරේදී මෙම කේත ක්‍රමය හඳුන්වා දෙනවා. මෙම කේත ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ ජපන් මෝටර් රථ නිෂ්පාදන ආයතනයක් වූ ‘දෙන්සෝ වේව්’ ආයතනයේ අධිවේගී යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය පරිගණක ඔස්සේ නිරීක්ෂණය කිරීමටයි.

මෙම කේතය සකස් කිරීම සඳහා පුරාණ චීන පුවරු ක්‍රීඩාවක් වූ Go Game නම් වූ ක්‍රීඩා පුවරුවේ ආකෘතිය යොදාගෙන තිබෙන බවයි තොරතුරු සොයා යෑමේදී දැනගැනීමට ලැබුණේ. QR කේතය තුළ උපරිම වශයෙන් ‘පරිගණක අක්ෂර’ 7000ක් පමණ ගබඩා කිරීමේ හැකියාවක් පවතිනවා.

කෙසේ නමුත් මෑත කාලීනව සිදුවන බොහෝ දෑ වගේම QR කේත ක්‍රමය පිළිබඳවත් කතාබහක් ඇති වන්නට හේතු වුණෙත් අර්බුදයම තමයි. අර්බුදය නිසා ඇති වූ යහපත් දෙයක් තියෙනවා නම් ඒ බොහෝ දෑ පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් වීම පමණයි. රාජ්‍ය තන්ත්‍රය තුළ පවතින දූෂණය සහ වංචාව, විදේශ විනිමය, මුදල් මුද්‍රණය කිරීම නිසා ඇතිවන ප්‍රතිඵල වගේ සාමාන්‍ය ජනතාව අවධානය යොමු කළ යුතු නමුත් අවධානය යොමු නොකළ ක්ෂේත්‍ර සම්බන්ධව අවධානය යොමු කිරීමට මේ අර්බුදය අවකාශය විවර කරලා තියෙනවා. QR කේත ක්‍රමය තුළින් ඉන්ධන ලබාදෙන බවට ප්‍රකාශ කිරීමත් සමඟ දුෂ්කර ප්‍රදේශයන්හි සිටින ජනතාවට සහ ස්මාට් ජංගම දුරකථන භාවිත නොකරන ජනතාවට ඇතිවන අපහසුතාව පිළිබඳව කතාබහක් නිර්මාණය වුවත් එයට පිළියම් සොයන්නට වැඩි කාලයක් ගතවුණේ නැහැ. බොහෝ පිරිස් ස්වේච්ඡාවෙන්ම අවශ්‍ය කටයුතු සලසා දෙන්නට ඉදිරිපත් වෙලා තියෙනවා සමාජ මාධ්‍ය තුළින් දකින්නට ලැබුණා. බොහෝ රටවල මුදල් ගෙවීම් වැනි කටයුතු සඳහාත් මෙම ක්‍රමවේදය භාවිත කළත් ශ්‍රී ලංකාවට එය එතරම් හුරු පුරුදු නොවීම නිසයි එම ගැටලු ඇති වන්නට හේතුපාදක වුණේ.

මෙම කේත ක්‍රමය භාවිතයෙන් ඉන්ධන ලබාගැනීමට යෑමේදී නොයෙකුත් ප්‍රායෝගික අපහසුතාවන්ට ලක්වෙන්න පුළුවන්. ස්මාට් ජංගම දුරකථන ළඟ තියෙන පිරිස් බොහෝවිට කේතය ජංගම දුරකථනයේම තබාගෙන පැමිණෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවක දුරකථනය අන්ලොක් කිරීමට සහ කේතය සොයා ගැනීමට කාලය ගතවීම, ජංගම දුරකථනයේ ආලෝකය අඩු වීම සහ කේතය කියවීමට ලක්කරන මොහොත වනවිට නැවත දුරකථනය ලොක්වීම වගේ අවස්ථාවන්ට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම මුද්‍රණය කරගත් කේතය ලැමිනේට් නොකර තිබෙන අවස්ථාවකදී කොළය ඉරීයෑම නිසා කේතය කියවීමට ලක්කළ නොහැකි වෙන්නත් පුළුවන්. මෙවැනි ගැටලු නිසා ඉන්ධන ලබාගැනීමට ගතවන කාලය තරමක් වැඩිවීමට හැකියි. එයට පිළියමක් ලෙස කේතය මුද්‍රණය කර හෝ ස්ටිකරයක් ලෙස වාහනයේ ඇලවීම සිදු කළ හැකියි.

දැන් ඔබ තෙල් ලබා ගැනීම සඳහා සුදුසුකම් සපුරා අවසන්. නමුත් ගැටලුවක් තිබෙනවා QR කේතය භාවිත කරලා ගන්න තෙල් කෝ? වාහනයේ අංක තහඩුවේ අවසන් අංකය අනුව දින ලබාදී ඒ අනුව තමන්ට නියමිත දිනයේදී ඉන්ධන ලබා ගන්නා ලෙසයි දැනුම් දී ඇත්තේ. එසේ වනවිට දී ඇතැම් අවස්ථාවල එදිනට නියමිත ඉන්ධන ප්‍රමාණය ඉන්ධන පිරවුම් හලට නොලැබීමට ඉඩක් තිබෙනවා. එවිට එදා දවසට නියමිත වාහන සඳහා ඉන්ධන ලබාගැනීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ හැසිරීමේ ස්වභාවය අනුව පෙර මෝටර් රථ, යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ ඩීසල් ලබාගැනීමට සිටින වාහන ලෙස පෝලිම් 4ක්ව තිබුණත් මෙයින් අනතුරුව දින තුනක් සඳහා පෝලිම් 12ක් සකස්වීමේ හැකියාවක් පවතිනවා. එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවන මාර්ග තදබදය පිළිබඳව වෙනම පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවේවි.

මිත්‍රවරුනි, මේ දිනවල බොහෝ පිරිසක් ප්‍රකාශ කරන අදහසක් වන්නේ මෙරට සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බවයි. නමුත් බොහෝ පිරිසක් සිස්ටම් චේන්ජ් කරන මුවාවෙන් තමන්ගේ වාහනයේ අංක තහඩු චේන්ජ් කරන්න පෙලඹෙන්නෙ එමඟින් සිස්ටම් එක චේන්ජ් වන බව සිතාගෙනදැයි අවබෝධ කරගත නොහැකි තත්ත්වයක් උදාවී අවසන්. සිස්ටම් එක චේන්ජ් කරන්න පුළුවන් පහසුම ක්‍රමය වන්නේ තනි තනිව වෙනස් වීම බව පළමුව අවබෝධ කරගත යුතුයි. එයින් අනතුරුව සමස්තය වෙනස් කිරීම එතරම් අපහසු නොවේවි.

QR ‍කේත ක්‍රමය ස්මාට් නැතහොත් සුහුරු ක්‍රමවේදයක්. ක්‍රමවේදය කෙතරම් ස්මාට් වුවත් භාවිත කරන පුද්ගලයාගේ සිතුවිලි ස්මාට් නොවනතාක් කිසිවක් සාර්ථක නොවේවි. එම නිසා මෙම ලිපිය කියවන ඔබ තනි තනිව ස්මාට් විධිය චේන්ජ් වෙන්න උත්සාහ කරන්න. ඒ වගේම මීට මාස කිහිපයකට පෙර ඔබ QR කේත භාවිතයෙන් හෝ පෝලිමේ සිට ඉන්ධන භාවිත නොකළ බවත්, රජයක් විසින් අතපසු කළ ක්‍රියාවන් නිසාම උද්ගතවන ගැටලු සඳහා හුරුවීම එකම විකල්පය නොවන බවත් හොඳින් මතක තබාගන්න. එය දින කිහිපයකින් අමතක වන්නේ නම් ඔබ මුද්‍රණය කරගන්නා QR ‍කේතය දෙසත් ඔබ රැඳී සිටිනා පෝලිමේ අන්තය දෙසත් නැවත නැවතත් බලන්න.

චතුරංග හතුරුසිංහ