Office Promotion එක ප්‍රමාද කරන අනවධාන අධික්‍රියාශීලි අක්‍රමතාව

0
53

නේතන් කුඩා කල පටන් ආශාවෙන් පසු වුණේ වෛද්‍යවරයකු වීමටයි. එහෙත් නේතන්ට සිය සිහිනය සැබෑ කරගත නොහැකි වුණා. කුඩා වියේ පටන්ම නේතන් තමන්ට පාසලෙන් පැවරූ වැඩ කල් දමන්නට පටන් ගත්තා. ඔහුට කාලය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමටද පහසු වූයේ නැහැ. ගුරුවරුන් උගන්වන විට ඔහුට සිය අවධානය පවත්වාගෙන යෑමට ඉතා අපහසු වුණා. මේ සම්බන්ධයෙන් පාසලේ ගුරුවරුන් ඔහුට නිතර චෝදනා කළා. විවිධ අවවාද ලබා දුන්නා. මවුපියන් ඔහුගේ තත්ත්වය ගැන කලකිරීමට පත් වුණා. විවිධ උපදෙස් අවවාද ලබා දුන්නා. එහෙත් ඒ කිසිවක් නේතන්ට ප්‍රයෝජනවත් වූයේ නැහැ.

දිනක් අනවධාන අධික්‍රියාශීලී අක්‍රමතාව (Attention deficit hyperactivity disorder) නම් රෝගී තත්ත්වය පිළිබඳ ලියවුණ පුවත්පත් ලිපියක් ඔහුට කියවන්නට ලැබුණා. තමාටද ඇත්තේ ADHD තත්ත්වය බව අවබෝධ කර ගැනීමට ඔහුට එතරම් වේලාවක් ගත වූයේ නැහැ. ඒ වනවිට නේතන් වයස අවුරුදු 22ක තරුණයෙක්. තම ඉලක්ක කරා යෑමට අපහසු වූයේ මෙම ගැටලුකාරී තත්ත්වය බව ඔහු තේරුම් ගත්තා. වැඩ කල් දැමීම සහ නිසි ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට නොහැකි වීම තමන්ගේ වරදක් නොවන බව ඔහු වටහා ගත්තා.

ADHD ලක්ෂණ මුල් ළමාවියේ ආරම්භ වුවත් ඇතැම් විට එය තරුණ විය දක්වාම හඳුනා ගැනීමට හැකි වන්නේ නැහැ. කුඩා වියේ පසුවන දරුවන්ගේ ADHD හා බැඳුණු හැසිරීම් රටාව නිසා ඔවුන් “අසාමාන්‍ය දඟ ළමයින්” ලෙස වර්ග කිරීමට ගුරුවරු සහ මවුපියන් පුරුදු වී සිටිනවා. ළමා මානසික සෞඛ්‍ය සහ ළමයින්ගේ ස්නායු වර්ධනය ආශ්‍රිත ගැටලු පිළිබඳ ඔවුන් තුළ ප්‍රමාණවත් දැනුමක් නොමැතිවීම මීට හේතුවක්.

එහෙත් ඇතැම් විට ඔවුන්ගේ අසාමාන්‍ය ක්‍රියාශීලී බව පන්ති කාමරය තුළ තුළ අවධානය පවත්වාගෙන යෑමට නොහැකි වීම ගුරුවරුන්ගේ සහ මවුපියන්ගේ විධානයන්ට සවන් නොදීම වැනි ක්‍රියාවන් නිසා ඔවුන්ට ADHDඇති බව හඳුනා ගැනීමට පහසුයි. නමුත් තරුණ වියේ පසු වන්නන් තුළ පවතින ADHD තත්ත්වය හඳුනාගැනීම ළමයින්ගේ රෝගී තත්ත්වය හඳුනා ගැනීම තරම්ම පහසු වන්නේ නැහැ. ඊට ප්‍රධානතම හේතුව වන්නේ කුඩා ළමයින්ගේ මෙන් තරුණ වියේ පසුවන්නන්ගේ චර්යා රටාවේ අසාමාන්‍ය වෙනස්කම් දක්නට නොලැබීමයි.

ADHD යනු කුමක්ද

අනවධාන අධික්‍රියාශීලී අක්‍රමතාව (Attention deficit hyperactivity disorder) යනු යම් පුද්ගලයෙන් මොළයේ ස්නායු වර්ධනය හා සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් ලෙස සරලව දක්වන්න පුළුවන්. තරුණ වියේ පසුවන පුද්ගලයන් තුළ පවතින ADHD තත්ත්වය පිළිබඳව සලකා බැලුවහොත් ඔවුන් ඔබට පහත දක්වන රෝග ලක්ෂණ පැහැදිලිවම දක්නට පුළුවන්.

අවධානය පවත්වාගෙන යෑමට අපහසු බව (Trouble focusing)

ආවේග පාලනය කර ගැනීමේ අපහසුතාව (Problems controling impulses)

සංවිධානාත්මක බව අඩුක්‍රම (Lack of organization)

කාලය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමේ අපහසුතාව (Poor time management)

එක්වර වැඩ දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කිරීමේ අපහසුතාව (Trouble multitasking)

අසහනකාරී බව (Restlessness)

මනෝභාවයන් ඉතා ඉක්මනින් වෙනස් වීම (Mood swings)

ඉච්ඡාභංගත්වයට පත්වීම (Rustration)

යමක් නිසි ලෙස සැලසුම් කිරීමේ අපහසුතාව (Trouble planning)

යම් කාර්යයක් අවසානය දක්වාම කරගෙන යෑමට අපහසු වීම (Problem finishing tasks)

ආතතිය කළමනාකරණය කර ගැනීමට අපහසු වීම (Issues with managing stress)

මේ රෝගී ලක්ෂණ තරුණ වියේ ADHD තත්ත්වය තුළ දැකිය හැකි අතර මේ හේතුවෙන් ඔවුන්ට සාර්ථක ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යෑම, සමාජ සම්බන්ධතා පවත්වාගෙන යෑම සහ නිසි ලෙස රැකියාවේ නියුතු වීමේ ගැටලු ඇති කරනු ලබනවා. ඔවුන්ට සිය චිත්තවේග කළමනාකරණය කිරීම නියමිත දිනට කළ යුතු වැඩ කටයුතු අවසන් කිරීම වැනි කටයුතු සිදු කිරීමටද ඉතා අපහසුයි.

ඔබට ADHD ඇත්දැයි හඳුනාගන්නේ කෙසේද?

ඉහත දක්වන ලද රෝග ලක්ෂණ (Symptoms) ඔබ තුළ ඇති බව හැඟේ නම් මනෝ වෛද්‍යවරයකු යොමු වීම  අත්‍යවශ්‍ය වෙනවා. ඔහු ඔබේ රෝගී ලක්ෂණයන් අධ්‍යයනය කර ඇතැම්විට ඒවා තක්සේරු කොට ඔබේ රෝගී තත්ත්වය පිළිබඳව නිගමනයකට පැමිණෙනවා. යොවුන් වියේ ADHD ඇති තත්ත්වය එහි රෝග ලක්ෂණ අනුව කාණ්ඩ තුනක් යටතේ වර්ග කරනු ලබනවා.

ඒවා නම්,

1 ආවේගශීලී (අධික්‍රියාශීලී impulsive hyperactive)

මෙම තත්ත්වය එතරම් සුලබ නොවන තත්ත්වයක්. මෙම තත්ත්වය ඇති පුද්ගලයන් සිය ආවේගයන් මත ක්‍රියා කරන අතර ඉතා අසහනකාරී බවකින් පීඩා විඳිනවා.

2 අනවධාන සහ ව්‍යාකූල  (inattentive and distractible)

මෙම කොටසට අයත් පුද්ගලයන්ට අවධානය පවත්වාගෙන යෑම ඉතා අපහසුයි.

3 ඉහත කොටස් දෙකෙහිම සංයෝගය (Combined)

මෙම තත්ත්වය ඉතා සුලබව දැකිය හැකි අතර මෙහි ප්‍රධාන  ලක්ෂණය නම් ඔවුන් ආවේගශීලී  අධික්‍රියාශීලී මෙන්ම අනවධානය  සහිත පුද්ගලයන් වීමයි.

ඔබ ඉහත කාණ්ඩවලින් කුමන කාණ්ඩයකට අයත් වුවත් ජීවිතය ඔබට අභියෝගයක්. ඔබේ වෘත්තීය ජීවිතය වුවද පෞද්ගලික ජීවිතය වුවද සාර්ථකව ගෙන යෑමට මෙම ADHD තත්ත්වය ගෙන එන්නේ අභියෝගාත්මක සහ ගැටලුකාරී ස්වභාවයක්. ස්ථානෝචිතව සිතීමේ හැකියාව සහ තීරණ ගැනීමේ හැකියාව, ස්වයං පාලනය සහ ස්වයං මෙහෙයවීම කාල කළමනාකරණය, මතකය තබා ගැනීම සංවිධානය කිරීමේ කුසලතාව සහ සැලසුම්සහගතභාවය වැනි ගුණාංග සහ කුසලතා පුද්ගල සංවර්ධනයට අත්‍යවශ්‍ය වන නමුත් ADHD තත්ත්වය සහිත පුද්ගලයන් තුළ මේ කුසලතා ඇත්තේ ඉතා අඩුවෙන්. එය ඔවුන්ට ඉතා අභියෝගාත්මක තත්ත්වයක් ලෙස දක්වන්නට පුළුවන්. එමෙන්ම ADHD සහිත පුද්ගලයන් අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, නීතිමය ගැටලුවලට මැදිවීමේ  ප්‍රවණතාව, ආදර සබඳතා සහ විවාහ සබඳතාවලදී අසාර්ථක වීම සහ මූල්‍යමය ගැටලුවලට මුහුණ දීම වැනි දෑ සුලභව දකින්නට පුළුවන්.

ADHD සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

ඔබ ADHD තත්ත්වයෙන් පෙළෙන බව හැඟේ නම් පළමුවෙන්ම වෛද්‍යවරයකු හමුවීම අවශ්‍යයි. ඔහු ඔබේ අවධානය රඳවා ගැනීම ඔබේ අධික්‍රියාශීලී බව අවම කිරීම සහ මානසික පීඩනය  අවම කිරීමට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. එය ඔබේ අධ්‍යාපන කටයුතු සහ එදිනෙදා ජීවිතය පහසු කිරීමට උපකාරී වෙනවා. එමෙන්ම ADHD තත්ත්වය පිළිබඳව ඔබ දැන සිටීමද ඉතා වැදගත්. ඔබේ මොළයේ ක්‍රියාකාරිත්වය රසායනික විපර්යාසයන් සහ රෝග ලක්ෂණ පිළිබඳව අවබෝධය ඔබේ ජීවිතය නිසිලෙස කළමනාකරණය කර ගැනීමට ඉතා වැදගත්. එනිසා ඔබේ රෝගී තත්ත්වය පිළිබඳව හැකිතාක් දැනුවත් වීම අත්‍යවශ්‍යයි.

වෛද්‍ය ප්‍රතිකාරය හැරුණකොට මනෝ ප්‍රතිකාරය (psychotherapyn) මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා ඉතා වැදගත්. එබැවින් දෙවනුව මනෝචිකිත්සකවරයකු (PsychotherapistOffice PromotionOffice Promotion) හමුවීම අත්‍යවශ්‍යයි. ඔහු හෝ ඇය මනෝ ප්‍රතිකාර ක්‍රම භාවිතය තුළින් ඔබට සාර්ථක ලෙස අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වාගෙන යෑම, කාල කළමනාකරණය සැලසුම්සහගතව වැඩ කටයුතු කිරීම වැනි කුසලතා සංවර්ධනය කරනු ලබනවා. ඔබ විවාහකයකු නම් ඔබේ සහකරු හෝ සහකාරියද මෙම තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා දීම ඉතා වැදගත්. එබැවින් ඇයට හෝ ඔහුට මනෝ උපදේශනය ලබාදීමද අත්‍යවශ්‍යයි.

ඉහත කරුණුවලට අමතරව පහත සඳහන් කරුණුද ඔබට ADHD තත්ත්වය කළමනාකරණය කර ගැනීමට යම් ආකාරයකින් උපකාරී විය හැකියි.

1. එදිනෙදා වැඩ කටයුතු සඳහා සටහන් පොතක් තබා ගැනීම.

ඔබ එදිනෙදා කළ යුතු වැඩ සියල්ල පිළිවෙළකට සටහන් කරන්න.

2. මතකයේ තබා ගත යුතු දේ ඔබට පෙනෙන තැන්වල අලවා තබන්න.

3. ඔබේ පරිසරය හැකිතාක් පිළිවෙළට පිරිසුදුව තබාගන්න. උදාහරණ ලෙස ඔබේ කාර්යාලය, ඔබේ නිදන කාමරය.

4. පෙර සූදානම

අමතක වීම වළක්වා ගැනීම පිණිස ඔබට අවශ්‍ය වන දේවල් කල්තබා සූදානම් කරගන්න. උදාහරණ ලෙස ඔබ එළියට යන්නේ නම් ඔබට අවශ්‍ය දේවල් කලින් සූදානම් කර තබා ගන්න.

5. ඔබ ඔබ පිළිබඳව වගකීමෙන් කටයුතු කරන්න.

ඔබට ආදරය කරන අයට සහ ඔබේ පවුලේ අයට ඔබ පිළිබඳ නිතර සොයා බලන මෙන් ඉල්ලා සිටින්න.

ADHD යනු නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවේ. එබැවින් ඔබට  ADHD තිබෙන බව හැඟේ නම් හැකි ඉක්මනින් ප්‍රතිකාර වෙත යොමුවන්න.