CPC ප්‍රහාරය වළකන්න ලාංකික ගුවන් භටයන් දැක්වූ දායකත්වය ඇගැයුමට

0
11

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සන්නද්ධ හමුදාවන්ට අයත් භට අනුඛණ්ඩයක් ස්ථානගත කර තිබූ OUANDA – DJALLE නමැති ස්ථානයට එරට සන්නද්ධ කැරලිකාර කණ්ඩායමක් වන CPC සංවිධානය විසින් එල්ල කරන ලද හදිසි ප්‍රහාරයක් වැළැක්වීමට සාමසාධක හමුදා රාජකාරියේ නියුතු ශ්‍රී  ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බළගණය සමත්ව ඇත.

මෙහිදී දෙපාර්ශ්වය අතර ඇති වූ දරුණු වෙඩි හුවමාරුවකින් පසු එම ප්‍රදේශයේ බලය අත්පත් කරගැනීමට එරට රජයේ හමුදා සමත් වූ අතර මෙම ක්‍රියාන්විතය සඳහා ශ්‍රී  ලංකා ගුවන් හමුදාව දැක්වූ දායකත්වය වෙනුවෙන් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක හමුදා ප්‍රධානි විසින් ශ්‍රී  ලංකා ගුවන් හමුදාව විශේෂ ඇගයීමකට ලක්කරන ලදී.

මෙම ක්‍රියාන්විතය සඳහා ශ්‍රී  ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බළගණයට අයත් සන්නද්ධ හෙලිකොප්ටර් යානා දෙකක් උපයෝගි කරගත් අතර එමගින් ගොඩබිම් මෙහෙයුම් භටයන්ට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් ඉතා සාර්ථක ප්‍රතිප්‍රහාරයක් ක්‍රියාත්මක කරන ලදී. මෙම ප්‍රතිප්‍රහාරයෙන් පසුව CPC සන්නද්ධ කැරලිකාර කණ්ඩායම නගරයෙන් පලවා හැර එම ප්‍රදේශයේ බලය අත්පත් කරගැනීමෙන් පසු සිවිල් ජනතාවට නැවත ඔවුන්ගේ නිවාස වෙත ගොස් විශ්වාසවන්තව පදිංචි වීමට අවශ්‍ය පරිසරය සකස් කර දෙන ලදී.

විශේෂයෙන්ම ශ්‍රී  ලංකා ගුවන් හමුදාව එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා මෙරට භට පිරිස් යෙදවීමෙන් මේ දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 100කට වඩා වැඩි මුදලක් ජාතික භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර අනාගතයේදී එවැනි මෙහෙයුම් සඳහා සහභාගි වීමට මෙම ක්‍රියාව ඉමහත් දායකත්වයක් ලබාදී තිබේ.  

චාමර අමරසූරිය