මාස තුනකට පසු ජනාධිපති කාර්යාලය වැඩ

0
281

මාස තුනකට වැඩි කාලයක් අරගලකරුවන් අත්පත් කර ගැනීමෙන් වැසී තිබූ ජනාධිපති ලේකම් කාර්යාලය ඊයේ (ජූලි 25) විවෘත විය.

ඒ අනුව, සේවයේ නියුතු පිරිස් සිය රාජකාරි කටයුතු ඊයේ සිට නැවත අරඹනු ලැබූහ.

ගෝල් ෆේස් භූමියේ රැඳී සිටින අරගලකරුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය ධූරයෙන් ඉවත් වන ලෙස බල කරමින් පැවැත්වූ විරෝධතා සමග ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල එහි ප්‍රධාන ගේට්ටු අවහිර කරමින් විරෝධතාවල නිරතවීම නිසා ජනාධිපති ලේකම් කාර්යාලයේ දෛනික කටයුතු ඇනහිට තිබිණි.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වහා පිටව යන ලෙස ආරක්ෂක අංශ එම විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් කළ ද ඊට අවනත නොවූ පිරිස් එම කාර්යාල තුළ ද එය ඉදිරියේදී අට්ටාල තුළ රැඳෙමින් විරෝධතාවල යෙදිණි.

ඉකුත් 22 වන දා අලුයම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විශේෂ කාර්ය බළකාය විසින් දියත් කළ මෙහෙයුමකින් ජනාධිපති ලේකම් කාර්යාල භූමියෙන් අරගලකරුවන් ඉවත් කෙරුණු අතර ඉන් පසු එම භූමිය ආරක්ෂක අංශ විසින් සියතට ගනු ලැබීය.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ එය නිරීක්ෂණය කිරීම සිදුවිය.

එම කාර්යාලය හා ඒ අවට පිරිසුදු කිරීමෙන් අනතුරුව ඊයේ උදෑසන එම කාර්යාලය විවෘත කර ඇති අයුරු දක්නට තිබූ අතර ඊට සිදුව ඇති හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.