හුදෙකලා නිම්නයෙන් විද්‍යුත් සන්නිවේදනය මුදාගත් තීර්ථ යාත්‍රිකයා

0
40

දේශපාලන, මාධ්‍ය සහ වාණිජ ලෝකයේ ඔහු හඳුන්වන ලද්දේ “මහරාජා” ලෙසය. සිරස මාධ්‍ය ජාලයේ අධිපති මහරාජා කියූ පමණින් සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව මේ දැවැන්ත චරිතය හැඳින සිටියහ. සියවසක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ වාණිජ ව්‍යාපාර ක්ෂේත්‍රයේත්, සන්නිවේදන ක්ෂේත්‍රයේත් වැඩිම බලපෑම් සහගත පුද්ගලයා වූයේ ඔහුය. ඒ රාජේන්ද්‍ර රාජමහේන්ද්‍රන්ය.

අද වන විට ඔහුගේ නාමය මිස රුව ජීවමාන නොවේ. එය මතකයක් බවට පත්ව ඊයේට (25දා) වසරකි. පසුගිය වසරේ ජූලි 25 වැනිදා ඔහුද කොරෝනාවේ තවත් බිල්ලක් විය. එදිනම සවස් කාලයේ රාජමහේන්ද්‍රන්ගේ දේහය බොරැල්ල පොදු සුසාන භූමියේදී ආදාහන කෙරුණේ සිය දහස් ගණනකගේ දෑස් මත කඳුළු බිඳු රන්දමිනි. දෑසේ කඳුළු බිඳු වියැකුණද ඔහු වෙනුවෙන් හදෙහි නැඟුණු හැඟීම් අදටද ජීවමානය. රූපකාය දැවී වසරක් ගත වුවද ඒ මතකය සදා අමරණීයය.

රාජමහේන්ද්‍රන් මියයන විට 78 හැවිරිදි වියේ පසුවිය. ඔහු උපත ලද්දේ 1943 වසරේ මැයි 19 දිනය. ගෙවුණු වසර 60ක කාලපරිච්ඡේදය තුළ ශ්‍රී  ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රය ඇතුළු වාණිජ ක්ෂේත්‍රයන්හි විප්ලවීය පෙරගමන්කරුවා වූයේ මහරාජාය. අසල්වැසි ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත පීඩිත ගොවි ජනයා මත බලය පැතිර වූ මහරාජාවරුන් මෙන් නොව, ජනතාව සමඟ සිටගත්, ඔවුන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් පෙනී සිටි මහරාජා කෙනෙක් මේ විස්මිත මිනිසා තුළ වූයේය.

කැපිටල් මහරාජා සමූහයේ අතීතය යටත්විජිත පාලන සමය දක්වා අෑතට දිවයන්නේය. 1930දී යාපනයේ මුලායිහි සුබ්‍රමනියම් මහාදේවන් සහ කොකුවිල් හි සින්නතම්බි රාජේන්ද්‍රන් යන මිතුරන් දෙදෙනකු රැකියාවල් සොයා කොළඹට පැමිණ එල්.ඩී. සේමූර් හා ඩොජ් ඇන්ඩ් සීමෝර් නමැති ඇමෙරිකානු සමාගම් දෙකක රැකියා ලබාගත්හ. 1939දී දෙවැනි ලෝක යුද සමය එළැඹි විට යට කී සමාගම්වල හිමිකරුවෝ යළි සියරට බලා පිටත් වූයේ අභිලාෂකාමී තරුණයන් දෙදෙනාට සමාගම්වල කොටස් විකුණා දැමීමෙන් පසුය. එය ශ්‍රී  ලංකාවේ වාර්තා වූ ප්‍රථම කළමනාකරණ කොටස් මිලදී ගැනීම වන්නේය.

එල්.ඩී. සේමුර් සමාගම “මහදේවන් ලිමිටඩ්” නමින් නම වෙනස් කළ අතර ඔවුන් යුනියන් කාබයිට් සහ එවරෙඩි බැටරි නිෂ්පාදනය ආරම්භ කළේය. ඩොජ් ඇන්ඩ් සීමෝර් සමාගම රාජේන්ද්‍ර ලිමිටඩ් යනුවෙන් නම වෙනස් කළේය. ඔවුන් පාකර් පෑන්, ක්වින්ක් තීන්ත, කෝල්ගේට් චැම්පියන් ප්ලග්, තර්මෝස් ප්ලාස්ක් දේශීය නියෝජිතයෝ වූහ.

 මහරාජා ඩිස්ටි්‍රබියුටර්ස් (ICL) මහාදේවන් ලිමිටඩ්හි අනුබද්ධ සමාගමක් ලෙස 1940දී ආරම්භ විය. ඔවුන් වෙළෙඳ භාණ්ඩ රැසක දේශීය නියෝජිතයෝ වූහ. මහාදේවන් 1957දී අභාවයට පත්වන විට ඔහුට දරුවන් සිටියේ නැත. එස්. රාජේන්ද්‍රන් සමාගම් දෙකේම හිමිකරුවා විය.

එස්. රාජේන්ද්‍රන් 1957දී ලංකාවට ප්‍රථමවරට PVC ජලනළ භාවිතය හඳුන්වා දුන්නේය. 1958දී ලංකාවේ පළමු එස්-ලෝන් නළ කර්මාන්ත ශාලාව සහ පාකර් ක්වින්ක් තීන්ත කර්මාන්ත ශාලාව ආරම්භ කළේ රාජේන්ද්‍රන් විසිනි. 1962දී  ICL රූපලාවණ්‍ය නිෂ්පාදනද, 1963දී කූටෙක්ස් ලිප්ස්ටික් සහ පෝලන්ත නේල් පොලිෂ් කර්මාන්ත ආරම්භ කළේය. 1964දී “ඔරෆෝම්” ෆෝහාන්ස් දන්තාලේප නිපදවීම ආරම්භ කළේය.

මහරාජා සමාගම් සමූහයේ නිර්මාතෘ සින්නතම්බි රාජේන්ද්‍රන් 1966දී අභාවප්‍රාප්ත වූයේය. රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් හෙවත් ඔහුගේ පුත්‍රයා එම සමූහයේ හිමිකරුවා වූයේ එතැන් සිටය. මහාදේවන්ස් ලිමිටඩ්, රාජේන්ද්‍රම්ස් ලිමිටඩ් සහ මහරාජා ඩිස්ටි්‍රබියුටර්ස් ආයතන තුන ඒකාබද්ධ කොට 1966 අප්‍රේල්  01දා මහරාජා සංවිධානය පිහිටුවන ලදී.

සිය සහෝදරයා හා එක්ව මහරාජා සමූහයට එක්වන විට විසි වයස් වියට පා තැබුවා පමණි. මහරාජා සමූහයේ වගකීම් කර පිට තබා ගත්තේ ව්‍යාපාර පිළිබඳව කිසිදු පුහුණුවක් හෝ දැනුමක් පවා නොමැතිවය. එතැන් සිට ඔහු සිය ව්‍යාපාර තුළින්ම ජීවිතය ඉගෙන ගන්න විය. ඔහු සතුව තිබුණේ ලේ බැඳීමෙන් උරුම වූ සහජ බුද්ධියයි. ඒ ඔස්සේ ඔහු ව්‍යාපාර ලොව විවිධ ඉසව් තරණය කරන්නට විය.

එතැන් පටන් මහරාජා සංවිධානයේ නැඟීම තවත් වේගවත් වූයේය. අමුද්‍රව්‍ය අපනයනය, ගෘහභාණ්ඩ අපනයනය මෙන්ම ලංකාවේ ප්‍රමුඛ මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් වූයේද මහරාජා සංවිධානයයි. 1970දී ඇලර්ටන් තේ වතු සමාගමද ඔවුන් සතු විය. සීනි හිඟය ඇති වූ විට ඔවුන් උක්හකුරු නිෂ්පාදනය ආරම්භ කළහ.

රෙනෝල්ට්, කැගීවා සහ ලැන්ෂියා යතුරුපැදි ආනයනයද මහරාජා ආරම්භ කළේය. 1977දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් මහ කොළඹ ආර්ථික කොමිසම ආරම්භ කළ අතර එහි ප්‍රථම ආයෝජන ව්‍යාපෘතිය වූ ප්‍රීමා තිරිඟු පිටි කම්හල ත්‍රිකුණාමලේ ආරම්භ කරන ලද්දේද මහරාජා සංවිධානය විසිනි.

කැපිටල් මහරාජා සමූහය තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයට අත ගසන්නේ 1978දී IMB 36 පරිගණක පද්ධතියක් ස්ථාපනය කිරීමෙනි. අභාවප්‍රාප්ත රාජමහේන්ද්‍රන් මහතාගේ දැක්ම සෑම විටම වර්තමානයට ගව් ගණනක් ඉදිරියේ ස්ථානගතව තිබුණේය. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අවකාශයන් දුර තියා දුටු ඔහු ඉන්දියාවේ ෆොරෙක්ස් (DSP) සමඟ හවුල් වී තැරැව්කාර සමාගමක් ආරම්භ කළේය.

හෙට්ටිආරච්චි සමාගම අත්පත් කර ගනිමින් 1978දී TMOL රබර් නිෂ්පාදන ව්‍යාපාරයටද අවතීර්ණ වූයේය. ඒ වනවිට මහරාජා සමූහය අති විශාල කර්මාන්ත ශාලා ගණනාවක හිමිකරුවෝ වූහ. 1983 කුප්‍රකට කළු ජූලියේ ජාතිවාදී ගින්න බොහෝ ව්‍යාපාර දවා අළු කළේය. ඒ මහා සංහාරයෙන් බේරුණේ මහරාජා සංවිධානයේ ව්‍යාපාර සහ ගොඩනැඟිලි දෙකක් පමණි. ඒ.එෆ්. ජෝන්ස් සහ මහරාජා ඉන්වෙස්ට් ඒ ව්‍යාපාර දෙකය. 1983 ජූලි 27 දින කළු ජූලියේ දුම්රොටු තවමත් කොළඹ අහසේ පාවෙමින් තිබියදී ඩෝසන් වීදියේ  AF Johns ගොඩනැඟිල්ලට සිය  අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවාගත් මහරාජා අළු ගසා දමා නැඟිටින්නට තීරණ ගත්තේය. 

ඩෝසන් වීදියේ වර්තමාන මූලස්ථානය ආරම්භ කෙරෙන විට කළු ජූලිය අමතක කොට වැඩ ආරම්භ කරන්නට අවශ්‍ය උත්තේජනය රාජ මහේන්ද්‍රන් විසින් සෑම තරාතිරමකම සේවකයන් වෙත ලබා දුන්නේය. 1985 මැයි වනවිට සියල්ල යථාවත් කරන්නට ඔහු සමත් විය. 1985දීම නවසීලන්ත කිරි මණ්ඩලය සමඟ හවුල් වී ඇන්කර් කිරිපිටි දේශීය වෙළෙඳපොළට හඳුන්වා දුන් අතර එය එවකට ලොව විශාලතම තනි වෙළෙඳපොළ විය. එම වසරේදී TMOL ටෆ්ලයින් ඇසුරුම් සමාගමද ආරම්භ කළේය. හැරිසන්ස් සහ කේ‍රාස්පීල්ඩ් ව්‍යාපාර සමූහය 1989 මිලදී ගැනීමත් සමඟ දේශීය තේ නිෂ්පාදනයට සහ වෙළෙ¼දාමට මහරාජා මැදිහත් විය.

කැපිටල් මහරාජා සංවිධානය සන්නිවේදන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1991දී  MTV චැනල් පිහිටුවීම සඳහා සිංගප්පූරු ටෙලිකොම් සමඟ හවුල් වීමෙනි. නව සමාගම  TMOL නමින් හැඳින්විණි. ඔවුන් රාජකීය ජෝර්දාන් ගුවන් සේවය සමඟ ඒකාබද්ධව වයඹ දිග ගුවන් සේවාව සහ භාණ්ඩ ප්‍රවාහනය ආරම්භ කළේය. ඉන්දියාවේ විශාලතම වෙළෙඳ ප්‍රසාරණ ආයතනය වූ රෙඩිෆියුෂන් ටී.එම්.ඩී.එල්. සමඟ හවුල් වී කොළඹ සිය කාර්යාලය විවෘත කරන ලද්දේ 1991 වර්ෂයේය.

1993දී  MBC Network, FM රේඩියෝ නාළිකාව ආරම්භ කරන ලදී. 1994දී මැලේසියාවේ ටෙලිකොම් සහ ටී.එම්.ඕ.එල්. අතර ඒකාබද්ධ වී ශ්‍රී  ලංකාවේ ඩයලොග් මෙහෙයුම් ආරම්භ කළ අතර ඇමෙරිකාවටද ප්‍රථම ලංකාවට GSM තාක්ෂණය හඳුන්වා දෙන ලදී. ටී.එම්.ඕ.එල්.හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස 2001 වර්ෂයේදී රාජමහේන්ද්‍රන් පත්විය. එතැන් සිට ඔවුන් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය විප්ලවීය හැරවුම් ලක්ෂ්‍යයකට යොමු කළේය. එය පිටුපස සිටි අති දැවැන්ත සෙවණැල්ල වූයේ රාජමහේන්ද්‍රන්ය.

MBC නෙට්වර්ක් සමාගම සහ MTV චැනල් (පුද්.) සමාගම මහරාජා සමූහයේ මාධ්‍ය අංශයේ අනුබද්ධ සමාගම් වේ. ගුවන්විදුලි විකාශනය සඳහා කැපවූ මාධ්‍ය සමාගමක් වන MBC නෙට් වර්ක් (පුද්.) සමාගමට ගුවන්විදුලි මධ්‍යස්ථාන 5ක් තිබේ. සිරස FM, ශක්ති FM,  වයි FM, ලෙජන්ඩ් FM.  ඔවුන් සතුව රූපවාහිනි නාළිකා 3ක් ඇත. සිරස, ශක්ති සහ TVI ඒවා වේ. ඉන් අනතුරුව පසුගිය වර්ෂවල මහරාජා සංවිධානයට එක්වූ තවත් සමාගම් රාශියකි. ඒ හැම සමාගමක් තියුණු පාලන ව්‍යුහයකින් මෙහෙයවනු ලබන සාර්ථක ව්‍යාපාර වන්නේය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලද ප්‍රථම ආයෝජන ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා වූයේ ඔහුය. වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ඇතුළු මහවැලි සංවර්ධන වැඩපිළිවෙළට අයත් දැවැන්ත බහු කාර්යය සංවර්ධන යෝජනා ගොඩනැඟීමට ඔහු දායකත්වය ලබා දුන්නේ සිය සමාගම් හරහාය.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් වරම් දිනා දීමට උත්සුක වූ නායකත්වය ඔහු බව නොරහසකි. ක්‍රිකට් ක්‍රීඩා විචාරක රෙක්ස් ක්ලෙමන්ටයින් තැබූ සටහනකින් ඒ බව මනාව දැක්වේ. ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් ලෙස 1981 පත්වූයේ ටෙස්ට් වරම් දිනාගත් ලෝකයේ 08 වැනි රට බවට පත්වෙමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය පළමු තරගය ක්‍රීඩා කරන්නට නියමිතව තිබුණේ 1982 පෙබරවාරි 17 වැනිදාය. ඒ  ක්‍රිකට් උපන් රට වූ එංගලන්තය සමඟය. නමුත් ශ්‍රී ලංකාවට එංගලන්තයට සඳහා යෑමට තරම් මූල්‍යම වත්කමක් නොතිබූ බව පැවසේ. සිය මංගල ටෙස්ට් තරගයම අහිමි වීමේ අවදානමට මුහුණ දී සිටි ලංකා පිලට අඳුරු වලා අතරින් රිදී රේඛාව වී තිබුණේ රාජමහේන්ද්‍රන්ය. සිය ධනයෙන් සියලු මූල්‍ය වත්කම් ලබාදෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට පිටත් කර යවන්නේ කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයාව සිටි රාජෙන්ද්‍රන් රාජමහේන්ද්‍රන්ය.

ආරම්භයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්වලට තිබූ අවම පහසුකම් නිසාම ක්‍රීඩකයන් දිගින් දිගටම ක්‍රීඩාවේ රැ¾දුණේ නැත. ඔවුන්  ක්‍රීඩාව හැර යද්දී ඔවුන්ට වෘත්තියක් ලෙස තමන්ගේ ආයතනනවල සේවය කරන්නට කිලී මහරාජා ඉඩ ලබා දුන් බව පැවසේ.

අභාවප්‍රාප්ත රාජමහේන්ද්‍රන්ගේ දැවැන්ත ප්‍රතිරූපය මෙරට සන්නිවේදන ක්ෂේත්‍රය තුළ පිළිබිඹු වන්නේ සිරස මාධ්‍ය ආයතනය තුළිනි. සිරස ජනතාවගේ නාළිකාව විය.  එය හඬක් නැති ජනයාගේ හඬ බවට පත්විය. “අමතක කරන ලද ජනතාව” සඳහා ගම්මැද්ද නමින් බිහි කළ සංකල්පයේ නිර්මාතෘ රාජමහේන්ද්‍රන්ය. අද දිවයිනේ අති දුෂ්කර ගම් නියම් ගම්වල ජනයා, පාසල් දරුවෝ ගම්මැද්ද පදනම තුළ සංවිධාන ගතව සිටිති. ගම්මැද්ද දුප්පතුන්ගේ ප්‍රශ්න හඹා යන සංවර්ධනයේ පෙරගමන්කරුවා බවට පත්ව සිටින්නේ රාජ්‍ය ආයතන උදාසීනව, උකටලීව පසුබා සිටින තත්ත්වයකය.

බහු ජනයාගේ ගැටලු හා දුගීභාවය ගැන සංවේදී වන හදවතක් රාජමහේන්ද්‍රන් නමැති යහපත් මිනිසාට තිබිණි. 2004 සුනාමි ව්‍යසනය ඔහු වඩාත්ම කම්පා වූ අවස්ථාව ලෙස සමීපතමයෝ පවසති. සුනාමියට පසුදින මාධ්‍ය ආයතනය වෙත පැමිණි ඔහු කාර්ය මණ්ඩලයට දැන්වූයේ, “අපි අපේ සියලු වැඩසටහන් නවතා දමා ජනතාවගේ සුබ සාධනයට කැපවෙමු” කියාය. “සිරස සහන යාත්‍රා” වැඩසටහන ආරම්භ වූයේ එදිනය. සිරස සමීපතමයෝ පැවසුවේ සුනාමියෙන් විපතටපත් ජනයාගේ දුක නිවන තුරු සභාපතිතුමාගේ නෙතග කඳුළු වියැළුණේ නැත බවය.

මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉතා තියුණු ඇසක් ඇතිව හෙතෙම කැපවී ක්‍රියා කළේය. ජනතාවගේ හඬට, පොදු ජන අරගලයට කැමරාව යොමු කිරීමට ඔහු බිය නොවීය. අතනින් කැපේය, මෙතනින් කැපේය යන බිය මහරාජා තුළ නොවීය. ආණ්ඩු හැරෙන හැරෙන පැත්තට මැස්ස ගැසීමේ මාධ්‍ය කලාව ඔහු ප්‍රතික්ෂේප කළේය.

ජන දිවි පෙවෙත තුළ හංගන්නට දෙයක් තිබිය යුතු නැත යන්න ඔහුගේ විශ්වාසය විය. ඇතැම් ආණ්ඩුවලට සිරස වහකදුරු විය. සිරසට ක්ලේමෝ බෝම්බ සවිකොට පුපුරුවා හළේය. දේශපාලකයෝ මැරයන් සමඟ පැමිණ සිරසට ගල් ගැසූහ. මහරාජා යටත් නොවීය. සිනාසුණා පමණි. එතැන් පටන් සිරසේ හඬ තිබුණාටද වඩා වැඩිවිය. ගල් ගැසූ දේශපාලකයා පසු කලෙක බිත්ති අල්ලමින් සිරසට බඩගෑවේය.

රාජමහේන්ද්‍රන් මාධ්‍යවේදීන් මෙන්ම දේශපාලකයන්ද නිර්මාණය කළේය. මාධ්‍යවේදීන් නොබියව අදහස් පළ කරන්නට කියා වගකීම තමා ගත්තේය. ගැටුමක් පවතින තැන ඔහු පෞද්ගලිකවම පෙනී සිටියේය. ඔහුට අවශ්‍ය වූයේ පිටකොන්ද ඇතිව අදීනව හැසිරෙන මාධ්‍යවේදීන්ය.

ඔහු  වියපත්ව සිටියද අලුයම 4.30 සිට රාත්‍රි 11.00 පමණ වනතුරු නොනැවතී එක දිගට වැඩ කළේය. රාජමහේන්ද්‍රන් තරම් යාවත්කාලීන වූ මාධ්‍යකරුවකු දැක නැති බව බොහෝ දෙනා පවසති. ඔහුගේ විෂය දැනුමේ පරාසය අතිශය පුළුල්ය. ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය නැංවීමට හෙතෙම බොහෝ වෙහෙස විය. සිනමාවේ සහ සාහිත්‍යයේ අක්මුල් ගැන ඔහු ගැඹුරු වැටහීමක සිටියේය.

ගුවන්විදුලියේ, රූපවාහිනියේ ස්ටුඩියෝ තුළ සිරවූ මයික්‍රෆෝනය හා කැමරාව කඳුළු ගෑස් විදින තැන, බැටන් පාර වදින තැන, දුම්රොටු අතරට ගෙනයෑම හුරු කළේ මේ මිනිසාය.  ඒ නිසාම බොහෝ අවස්ථාවල කාකි කබා ගැලවුණු සැටි අපි දුටුවෙමු.

බොහෝදෙනා නොදන්නා තවත් කරුණක් තිබේ. ඔහුගේ පෞද්ගලික කලා නිර්මාණ එකතුව අති විශාලය. ලෝක ප්‍රකට කලා නිර්මාණ රැසක් ඔහු සතුව තිබේ. ඔහු පරිශීලනය කළ පුස්තකාලයද වටිනාකම අනූන ග්‍රන්ථ එකතුවකි.

රාජමහේන්ද්‍රන් පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ තවත් එක් පරිච්ඡේදයක් බව බොහෝ දෙනා පවසති. දේශපාලන හා අනකුත් ක්ෂේත්‍රයන් හි අතීත හා වර්තමාන බොහොමයක් නායකයන්ට තමන්ගේ වෘත්තිය හැඩ කර ගන්නට ඔහු ආත්මාර්ථයෙන් තොරව සහාය දුන්නේ අන් කවරකටත් නොදෙවැනි ලෙසින්ය. ඔහු නායකයන්ට සහාය දුන්නේ ප්‍රතිලාභ ලෙස කිසිවක් අපේක්ෂා නොකරමිනි. ඇතැම් අවස්ථාවල ඔවුන් ඔහුට එරෙහිව ක්‍රියා කළත් ඒ සියල්ල හමුවේ හිස ඔසවා සිටින්නට තරම් ධෛර්යයක් රාජමහේන්ද්‍රන්ට විය.

ඔහු විශේෂ වූයේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඔහු තුළ වූ හෘදයාංගම බව නිසාය. ඔහු කිසි විටෙක ලාභ ගැන තැකුවේ නැත. කිසි විටෙකත් ඒ වෙනුවෙන් ආපසු කිසිවක් බලාපොරොත්තු වූ අයකුද නොවේ. හින්දු භක්තිකයෙක් වුවද බුදු දහමටත් අන් සියලු ආගම්වලටත් ඔහු එක සේ ගරු කළේය. එහි උන්නතිය වෙනුවෙන් කැප වී කටයුතු කළේය. ඔහු මිනිසුන් එකට ඇද තබා ගැනීමට කටයුතු කළා මිස බෙදා වෙන් කරන්නට පෙනී නොසිටි අයෙකි. කැපිටල් මහරාජා සමූහය නිර්මාණය කළේද සංහිඳියාවේ තෝතැන්නක් ලෙසය. කිසිදු භේදයකින් තොරව හැකියාව මතම ඉදිරියට යන්නට මාර්ගය පෙන්වා දුන් ඔහු සැබැවින්ම පරමාදර්ශී නායකයකුද වූ බව නොරහසකි.

සංගීතය, චිත්‍ර කලාව, නර්තනය, සිනමාව වැනි ක්ෂේත්‍ර පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් තිබූ අයකු විය. ඒ නිසාම ඔහු කලාවට බෙහෙවින් ආදරය කළේය. ඔහුගේ සහජ හැකියාව දශක ගණනාවක් පුරා සිරස ශක්ති මාධ්‍ය ජාලය තුළ ජනතාව වැලඳ ගත් නව සංකල්ප හරහා කලඑළි දුටුවේය.

ඔහුගේ ජීවිතයට තර්ජන තිබුණද ඔහු විශ්වාස කළ සත්‍ය වෙනුවෙන් නොසැලී පෙනී සිටි අයෙකි. තමන් උපන් බිම වෙනුවෙන් හා අන් අයගේත් අනාගතය වෙනුවෙන් නොබියව සටන් කළේය. ඔහු කිසි විටෙක ප්‍රසිද්ධිය අපේක්ෂා කළ අයෙක් නොවීය. ඔහු සතුව රුපවාහිනි නාළිකා තිබුණද ඔහු ජීවත්ව හුන් සමයේදී ඔහුගේ රුව ඒ නාළිකා තුළින් කිසි විටෙක විකාශය කෙරුණේ නම් නැත. කෙතරම් රාජකාරි තිබුණද නව වසරක් උදා වද්දී ඔහු සිය ආයතනයේ පහළ කම්කරුවාගේ පටන් ඉහළ කළමනාකාරිත්වයේ සිටියවුන් දක්වා සියලු දෙනාම හමුවී සුබ පැතුම් පිරි නැමූ බව එහි සේවකයෝ අදටත් සිහිපත් කරන්නේ සෙනෙහසිනි.

 ගම්මැද්දේ පොඩි මිනිසුන් වෙනුවෙන් කැපවුණු මහරාජා ඔවුන්ගෙන් කිසිවකුට හෝ නොකියා නොපවසා රහසේම ඔවුන්ගෙන් සමුගෙන තිබේ. රාජමහේන්ද්‍රන්ගේ අභාවය මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබලයකු වෙනුවෙන් ඔහු නොදුටු නන්නාඳුනන මිනිසුන්ද කඳුළු හලන අවස්ථාවක් වීම මෙරට ඉතා දුලබ අවස්ථාවක් විය.

ඔවුන් ඔහු නොදුටුවේ රාජමහේන්ද්‍රන් කිසිසේත්ම ජනප්‍රියත්වය අපේක්ෂා නොකළ නිහතමානී සරල මිනිසකු වීම නිසා. එයම ඔහුගේ අගය වඩ වඩාත් දැනෙන්නට හේතුවනු ඇත. ඔහු ගත් මඟ අභීතව පෙරට යන්නට ඔහු විසින් තැනූ මිනිසුන් සමත් වේ යැයි අපි සිතමු.

උදේනි සමන් කුමාර
සවනි ශේශාධි