හිටපු ඇමැති රාජිතට එරෙහි නඩුව ඉල්ලා අස්කරගන්න සී.අයි.ඩී.ය අධිකරණයෙන් අවසර ඉල්ලයි

0
18

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න යන අය ධීවර අමාත්‍යවරයාව සිටි කාලයේදී නැව් අටක් ගෙන්වීම හා මෝදර ධීවර වරාය බදු දීම පිළිබඳව වන පැමිණිල්ලක් සම්බන්ධයෙන් යොමු කර තිබූ නඩුව ඉල්ලා අස්කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතාගෙන් අවසර ඉල්ලා සිටියේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න යන අයට එරෙහිව චෝදනා ගොනුකර නඩුවක් පවත්වාගෙන යන බැවින් මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම ඉල්ලීමට අවසර ලබාදුන්නේය.

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ ‍ෙදාන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන අය නමින් මෙම නැව් 08 චීන සමාගමක් සමඟ ඇති කර ගත් ගිවිසුමක් මත මෙරටට ගෙන්වා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය අස්වැන්න නෙළීම සඳහා එක් රටක ලබාදී ඇති ධාරිතාවෙන් ලංකාව භාවිත කරන්නේ සියයට පනහක් පමණක් පමණ වන බවත් මෙලෙස ධීවරයන්ට ඇති අයිතිය උදුරාගනිමින් චීන සමාගමට ඒ අයිතිය බදු දී ඉන් ලැබෙන කොමිස් මුදල ලබාගන්නා පරිදි මෙම ගිවිසුම අස්සන් කර ඇති බවත් එම පැමිණිල්ලේ සටහන් වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ තවදුරටත් කරුණු වාර්තා කර තිබිණි.

හංසි නානායක්කාර