හදිසි නීති ඡන්දේ ගැන මන්ත්‍රිවරු දෙගිඩියාවෙන්

0
24

පාර්ලිමේන්තුවේදී හෙට (27දා) පැවැත්වෙන හදිසි නීති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන්නේද යන්න ගැන. අනුප්‍රාප්තික ජනාධිපති තෝරාගැනීමේදී පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රිවරුන් අතර මතභේද හටගෙන ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

හදිසි නීති ඡන්ද විමසීම, අනුප්‍රාප්තික ජනාධිපති තෝරා ගැනීම මෙන් රහස් ඡන්දයක් නොවීම ඊට හේතු වී ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් පෙන්වාදෙයි.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී රහස් ඡන්දයක් පැවැති නිසා අනාවරණය නොවී සිටිය හැකි වුවත් හදිසි නීති ඡන්දය විමසීමේදී තම දේශපාලන මතය අනාවරණය වන හෙයින් මෙම තත්ත්වය උදාවී ඇතැයි ‘මව්බිම’ කළ සොයාබැලීමකදී අනාවරණය විය.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය කුමක්දැයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තම පක්ෂය හදිසි නීතියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවය.

කෙසේ වෙතත් හදිසි නීති ඡන්දයට පෙර තමන් කිහිපදෙනකු රැස්වී මේ පිළිබඳ තීරණයකට එළැඹෙන බව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර යාපා ‘මව්බිම’ කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රිවරයා සඳහන් කළේ තම පක්ෂය හදිසි නීතියට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවය.

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකරගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ පිළිබඳව තම පක්ෂය මේ වනතුරු තීරණයක් ගෙන නැති බවයි. කෙසේ වෙතත් ඒ පිළිබඳව පක්ෂය අද තීරණයක් ගනු ඇතැයිද ඔහු කියා සිටියේය.

මේ අතර පක්ෂ දහයේ කණ්ඩායමේ ප්‍රකාශකයෙක් කියාසිටියේ පාර්ලිමේන්තු රැස්වීමට පෙරාතුව එක්ව තීරණයකට එළැඹීමට බලාපොරොත්තු වන බවය. සාමුහික තීරණයක් මත ක්‍රියාකරන බව ඔහු සඳහන් කළේය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය, සවනි ශේශාධි,

නිර්මාණි ගුණරත්න