ස්ටාලින් ඇතුළු හයකට රට ගමන් තහනමක්

0
21

පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් පොදු දේපළවලට හානි කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්‌ටාලින් ඇතුළු හය දෙනකුට. කොළඹ මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (25දා) විදේශ ගමන් තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්‌ටාලින්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ළහිරු වීරසේකර, ජීවන්ත පීරිස් පියතුමා, එරන්ද ගුණතිලක හා රංගන ලක්මාල් යන අයගේ විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කළේය.

කොටුව පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

පසුගිය ජුනි මස නව වැනි දින පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී පැවැති උද්ඝෝෂණයේදී පොදු දේපළවලට හානි සිදු කළැයි කොටුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබිණි.

එසේම මීට පෙර මේ සිද්ධිය සම්බන්ධයෙන් රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි, රැට්ටා නොහොත් රතිඳු සේනාරත්න, රංගන ශිල්පී ජගත් මනුවර්ණ ඇතුළු නවදෙනකුද අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට ඇප මත මුදාහැර තිබිණි.

හංසි නානායක්කාර