සජබ නාවලපිටිය කොට්ඨාසයේ දෙකිද සංවිධායකගේ නිවෙසට බෝම්බ ප්‍රහාරයක්

0
12

නාවලපිටිය දෙකිද ප්‍රදේශයේ සමගි ජන බලවේගයේ කොට්ඨාස නායක දර්ශන ජයසුන්දර මහතාගේ නිවෙසට ඊයේ (25දා) අලුයම පෙට්රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවැසීය.

අලුයම 1.20ට පමණ නිවෙසේ කොටසක් සහ වෑන් රථ ගාල් කර තිබූ ගරාජය දෙසින් ගිනි දැල් ජාලාවක් මතු වූ බවත් පසුව පැමිණ පරීක්ෂා කිරීමේදී වෑන් රථයේ ඉදිරිපස කොටස සහ නිවෙසේ කොටසක් ගිනි ගනිමින් තිබූ බවට දර්ශන ජයසුන්දර මහතා කියා සිටියේය.

තමන් ගින්න දුටු විගසම නිවෙසින් පිටතට පැමිණි බවත් එම අවස්ථාවේ යතුරුපැදියක් එම ස්ථානයේ වේගයෙන් ධාවනය කළ බවත් දැරි පරිශ්‍රමයක් දරා පැතිර ගිය ගින්න නිවා දැමීමට හැකි වූ බවද ඒ මහතා කියාසිටියේය.

ගින්නෙන් වෑන් රථයේ ඉදිරිපස කොටස ගිනිගෙන විනාශ වී ඇති බවත් නිවෙසේ නිදන කාමරයක ජනේලයට ගිනි ඇවිළී ඇති බවත් මුහුණුපොතට තමා එක් කළ සටහනක් හේතුවෙන් එයට උරණ වූ කිසියම් පිරිසක් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව දර්ශන ජයසුරන්දර මහතා සැක කරයි.

නොර්වුඩ් _ නීටා පත්ම කුමාරි