විවාහ කරගන්නා බව කියා ගුරුවරියකගෙන් ලක්ෂ 23ක් වංචා කළ දෙදරු පියා අල්ලන්න පරීක්ෂණ

0
15

බිබිල යල්කුඹුර ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක් විවාහ කර ගැනීමට පොරොන්දු වී ඇයගේ රුපියල් විසි තුන් ලක්ෂ තිස් දහස් හයසියයක් (23,30,600.00) වරින්වර වංචනික ලෙස ලබාගත් දෙදරු පියකු අත්අඩංගුවට ගැනීමට මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.

තිස් දෙහැවිරිදි ගුරුවරිය බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික රක්ෂණ සමාගමක කළමනාකාරවරයා සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු විසින් ඇයගෙන් අවස්ථා කිහිපයකදී මෝටර් රථයක් මිලදී ගැනීම ඇතුළු විවිධ අවශ්‍යතාවන් සඳහා රුපියල් විසිතුන් ලක්ෂ තිස් දහස් හයසියයක් ලබාගෙන ඇත.

ගුරුවරියගේ අනුදැනුම මත කේ‍රඩිට්කාඩ් පත භාවිත කරමින් අවස්ථා කිහිපයකදී ඔහු විසින් මුදල් ලබාගෙන ඇතැයි හෙළිව ඇති බවත් පෙම්වතා පිළිබඳ සොයා බැලීමේදී ඔහු විවාහක දෙදරු පියකු බව දැනගැනීමෙන් පසු ගුරුවරිය විසින් සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ. මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති විල්ෆ්‍රඩ් සිල්වා මහතා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

බිබිල _ නඳුන් ගුණතිලක