රාජ්‍ය ප්‍රචණ්ඩත්වයකට ඉඩනොදිය යුතුයි

0
83

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අද රට තුළ රජයන්නේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය. ඒකාධිපතිත්වයකට රටේ ප්‍රජාතන්ත්‍රවාදය වනසා ම්ලේච්ඡත්වය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදිය යුතු බවත් පාලකයන් එකමුතු වී ආදර්ශය ලබාදිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

හැටනව ලක්ෂයක බහුතරයකින් රටේ පාලකයා බවට පත්වූ ජනාධිපතිවරයකු මහජන අරගලයක් විසින් රටෙනුත් නෙරපා හැරි තත්ත්වයක් තුළ පවා ඔහු  අත්තනෝමතික ලෙස හැසිරුණු බවද හෙතෙම ප්‍රකශ කළේය.

රටේ ජනතාව කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට මුල්ම ප්‍රහාරය පහුගිය මැයි මස නව වැනිදා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය දියත් කරමින් එල්ල කළ බවත් එහි ප්‍රතිඵලය වූයේ අගමැතිවරයාට ගෙදර යෑමට සිදුවීම බවත් ඔහු කීය.

ඉන් අනතුරුව එය ජනාධිපතිවරයා රටෙනුත් නෙරපා හැරීම දක්වා දිග්ගැසුණු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඉදිරිගාමී රටක් නිර්මාණය කිරීම උදෙසා වූ සාධනීය අදහස් සහ යෝජනා ලබාගැනීම සඳහා ජාතික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ විශේෂ හමුවේදී ඔහු මේ බව කීය.

මෙම අවස්ථාවට දේශපාලන පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මහජන නියෝජිතයන් සහ වෘත්තිකයන් පිරිසක් එක්ව සිටියහ.

නිර්මාණි ගුණරත්න