රාජපක්ෂලා බලයෙන් ඉවත් වුණාම රටට කිරි ඉතිරෙයි කියලා සමහරු හිතුවා

0
16

සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනඟමින් සියලුදෙනා එක්ව රටේ අර්බුද විසඳීමට කටයුතු කළ යුතු බව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක පවසයි.

එවැනි සර්වපාක්ෂික ආණ්ඩුවකට තම පක්ෂයේ පූර්ණ සහාය හිමිවන බවද මන්ත්‍රිවරයා කීවේය.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊයේ (25දා) විමලවීර දිසානායක මහතා මෙම අදහස් පළ කළ අතර එහිදී හෙතෙම මෙසේද කීවේය.

“ජූලි මාසය බොහොම අනතුරුදායක මාසයක් ශ්‍රී  ලංකාවට. මේ රටේ 69 ලක්ෂයක් ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයා ජූලි මාසයේ තනතුරු අතහැර ගියා. ඒ වගේම මේ රටේ පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයකු තෝරා ගනු ලැබුවා. දැන් රාජපක්ෂවරු මේ රටේ බලයේ නැහැ.  මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරය ගත්තෙ මන්ත්‍රි ධුර 150ක විතර සහායෙන්. අද එතුමාත් බලයේ නැහැ. හැටනව ලක්ෂයක් ඡන්දය ගත්ත ජනාධිපතිතුමත් අද බලයේ නැහැ. කවුරුහරි ප්‍රාර්ථනා කළා නම් මේ අය බලයෙන් ඉවත් වුණහම මේ රටට මල් පිපෙයි, සුළං හමයි, ගොයම් පැහෙයි, මේ රටට කිරි ඉතිරෙයි කියලා දැන් ඒ කිරි ඉතිරීම පටන් ගන්න ඕනෙ කියලා මම හිතනවා.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳව විවිධ චෝදනා සහ අදහස් තිබෙනවා. එක කණ්ඩායමක් කියනවා දේශපාලන බිමේ යථාර්ථය නෙවෙයි පාර්ලිමේන්තුවේ සංයුතිය කියලා. ඔව්. එහෙම තමයි. ඉතිහාසයම එහෙම තමයි. හැමදාම පාර්ලිමේන්තු මැතිවරණයකට පස්සේ මාස තුනක් හතරක් යනකොට ජනමතය වෙනස් වෙනවා.

ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දය ගැන කතා කළොත් අල්ලස, මන්ත්‍රිවරු විකිණීම, මිලියන ගණන් පරිත්‍යාග කිරීම කියන දේවල් හැමදාම සාකච්ඡා කෙරෙනවා. මට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කතා කළා. එතුමා ජනාධිපති ඡන්දෙට ඉදිරිපත් වෙනවා පුළුවන් නම් සහාය දෙන්න කියලා කිව්වා. එච්චරයි. මගේ හිතවත් ඩලස් අලහප්පෙරුම මැතිතුමා කතා කරලා කිව්වා  මම මේ  තරගයට ඉදිරිපත් වෙනවා පුළුවන් නම් ඡන්දෙ දීපන් කියලා. හැබැයි දෙන්නගෙන් කවුරුත්වත් ඇමැතිකමක් දෙනවා, සල්ලි දෙනවා කියලා කිව්වේ නැහැ.

පහුගිය කාලේ මාධ්‍ය ආයතන ඔක්කොම අපි කියන දෙයක් ඇහුවෙ නැහැ. ඔක්කොම වාර්තා කළේ ඊනියා අරගලකරුවන් ගැනයි. දැන් අරගලකරුවෝ සමහර මාධ්‍ය ආයතනවලට ගිහිල්ලා ප්‍රවේශමෙන් කියලා තර්ජනය කරනවා. ඇතැම් ප්‍රවෘත්ති දාන්න බැහැ කියලා බලපෑම් කරනවා.

බොහෝ භයානක දේවල් මේ රටට ගෙනැල්ලා ඒවා වර්ණනා කර කර වර්ධනය කළේ මාධ්‍ය. මේ සියලු දේවල්වල කෙළවර වන්නේ සාහසිකත්වය, ප්‍රචණ්ඩත්වයයි. කාටවත් වරදක් නොකරන මදුරුවෙක්වත් මරා නැති මම ඒ ප්‍රචණ්ඩත්වයේ ගොදුරක් වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 76 දෙනෙක්ගේ ගෙවල් ගිනි තිබ්බා. හැබැයි නීතිඥ සංගමය මේ දේවල් වැරැදියි කියලා නිවේදනයක් නිකුත් කළේ නැහැ. එදා බටහිර තානාපති කාර්යාලවල කටවල්වල ඉබ්බෝ තිබුණේ. මේ සාහසික ප්‍රචණ්ඩකාරී ක්‍රියාව හෙළා දැක්කේ නැහැ. අධිකරණයක් හෙළා දැක්කේ නැහැ.  ප්‍රචණ්ඩත්වයට අනුමැතිය දුන්න කෙනෙක් ඉන්නවා නම් ඔහුට පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් ඇතිවෙනවා. 

මේ රටේ ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ල ත්‍රස්තවාදී විදිහට අත්පත් කර ගැනීම ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ කටයුතු නතර වුණහම මේ රටට මොකක්ද වෙන්නේ කියලා කවුරුවත් හිතන්නේ නැහැ.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ විදිහට ගත්තම අපි සර්වපාක්ෂික ආණ්ඩුවට සහාය දෙනවා. දැන් ඉන්නේ අපේ පක්ෂයේ ජනාධිපතිවරයෙක් නෙවෙයි. ඉන්නේ මහජන එක්සත් පෙරමුණේ අගමැති කෙනෙක්. මේ රටේ ජනතාවගේ පීඩාකාරී දුක්ඛිත ඉරණමින් ඒ අය මුදාගන්න සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න සහයෝගය ලබාදෙනවා. අපට ඇමැතිකම් පිළිබඳවත් බලය බෙදාගැනීම පිළිබඳවත් ප්‍රශ්නයක් නැහැ.

රනිල් වික්‍රමසිංහ මහත්තයා සමඟ අවුරුදු විසි පහක දේශපාලන ගැටුමක් තිබුණා. මේක අර්බුදය විසින් නිර්මාණය කරපු කාර්යයක් කියලා විමල් වීරවංශ කිව්වා.

ගෙවල් ගිනි ගත්ත පාර්ලිමේන්තුවේ 76 දෙනෙක් එක්ක තමයි මේ ගනුදෙනුව කළේ. පහුගිය කාලයේ අලුත් සංස්කෘතියක් ඇති වුණා.”

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය